යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන බවට සහතිකයක්

Spread the love

මසක් තුළ යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන බවට වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

හම්බන්තොට යෝජිත වන අලි කළමණාකරණ රක්ෂිතය ගැසට් කර වන අලි ගැටලුවට වහා විසදුම් දෙන්නැයි ඉල්ලා ගොවි සංවිධාන නියෝජිතයන් විසින් සූරියවැව වල්පසුගල වැව් තාවුල්ලේ ආරම්භ කර තිබූ අඛණ්ඩ සත්‍යග්‍රහය හා උපවාසය පැවති ස්ථානයට අද (23) පැමිණි චමල් රාජපක්ෂ අමාත්‍යවරයා අදාළ ඉල්ලීම්වලට විසදුම් දෙන බවට පෙ‍ාරොන්දු විය.

මෙහිදී ජනමාධ්‍ය හමුවේ ගොවීන් පිරිස පැවසුවේ මෙතෙක් කලක් අවස්ථා ගණනාවකදිම නිලධාරින් විසින් තමන්ව රැවටීමට ලක් කල බවත්, මෙවර යළි රැවටීමකට ලක්වීමට තමන් සූදානම් නොවන බවයි.

අමාත්‍යවරයා මසක් තුළ මෙම ගැටලුවට විසදුම් දෙන බවට දුන් පොරොන්දුව පිළිගෙන මාරාන්තික උපවාසය පමණක් නතර කරන බවත් එතෙක් අඛණ්ඩව සත්‍යග්‍රහය දිගටම පවත්වන බවත් ගොවීහූ පැවසූහ.

මේ අවස්ථාව සඳහා අමාත්‍යවරයා සමග වනජිවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, මහවැලි නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු පිරිසද පැමිණ සිටියහ.

මහවැලි ආධිකාරියේ නිලධාරින් කාලාන්තරයක සිට කර ගෙන ආ අත්තනෝමතික ක්‍රියාකලාපයන් හේතුවෙන් ගොවි ජනතාව වන අලි ගැටලුවෙන් පීඩාවට පත්ව ඇතැයි මෙහිදී ගොවීහු පිරිස අමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ ක‍ළහ.

මෙහිදී අඅදහස් පළ කළ ඇමැතිවරයා,

‘මේක තමයි ලංකාවේ පළමු වන අලි කළමනාකරණ රක්ෂිතය ලෙසින් ගැසට් වෙන්න යන්නේ. එය නියමිත පරිදි නිසි ක්‍රමයකට කළ යුතුයි. මෙය තමයි රට පුරා ආදර්ශයක් විදියට ගන්නේ. ඊට යම් කාලයක් අවශ්‍යයි. ඒ නිසා දැනට තිබෙන අලි වැට හමුදාව, විශේෂ කාර්ය බළකාය හා සිවිල් ආරක්ෂක නිලධාරින් දමලා කඩිනමින් ශක්තිමත් කරල ගම්වල සිටින වන අලි ටික මේකට තල්ලු කර දැමීමට පළමුවෙන්ම කටයුතු කරමු.

මේ රක්ෂිතය ගැසට් කරනවා කියන්නේ එකසැරේටම මට අත්සන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ සඳහා වන නිති රෙගුලාසි හදලා එය නීතිපති දෙපාර්තමේන්තුවට යවන්න ඕනේ. එතන කාල සීමාව කොච්චර යනවද කියලා අපිට තීරණය කරන්න බෑ. අපි මේ ව්‍යාපෘතිය නවත්තලා හිටියේ නෑ. අපි ආණ්ඩුවක් ලෙස අදාළ කටයුතු කරමින් තියෙනවා. ගොවින්ගෙන් එන පැමිණිලි සලකා බලා මහවැලියේ ප්‍රදේශය බාර නිලධාරන් මාරු කිරීමට කටයුතු කරනවා.

මේ සඳහා අවශ්‍ය නීති හදනතුරු අපි මේ තියෙන වැට ශක්තිමත් කරනවා නිසි පරිදි. අලි ටික ඒ තුළට තල්ලු කරමු. ආණ්ඩුවක් ලෙස අපි ජනතාව වෙනුවෙන් කටයුතු කරනවා. මෙම යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට අවශ්‍ය කටයුතු මසක් තුළ නිම කරලා එහි පිටපතක් මේ අයටත් ලැබීමට කටයුතු කරන්නම්. එතෙක් මේ මාරාන්තික උපවාසය නතර කිරීමට කටයුතු කරන්න‘‘ යැයි අමාත්‍යවරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව උපවාසයේ නිරතව සිට වලව වම් ඉවුර ඒකාබන්ධ ගොවි සංවිධානයේ සභාපති එස්. කේ. මහින්ද මහතා ඇතුළු ගොවීන් දෙදෙනා මාරාන්තික උපවාසය අත්හැරීමට කටයුතු කළ අතර ඔවුන් පැවසුවේ මෙය මසක් තුළ ඉටු නොවුණහොත් යළි මේ ලෙසම මාරාන්තික උපවාසයට එක් වන බවය.

උපවාසය අත්හළ ගොවීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා සූරියවැව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමට කටයුතු කෙරුණි.

එහෙත් ගොවීන් 18 වැනිදා සිට පවත්වාගෙන ආ අඛණ්ඩ සත්‍යග්‍රහය ඒ පරිද්දෙන්ම ක්‍රියාත්මක වේ.

RSL

Related Posts