යේමන් නව ඇමති මණ්ඩලය පැමිණෙද්දී ‘ඒඩන්’ ගුවන් තොටුපළට බිහිසුණු ප්‍රහාරයක්

Spread the love

ඉහළ ඡායාරූපය – ප්‍රහාරයෙන් පසු ගුවන් තොටුපළ අසල දර්ශනයක්

දකුණු යේමනයේ ‘ඒඩන්’ නගරයේ එල්ලකෙරුන ප්‍රහාරයකින් විසි දෙදෙනකු (22) මරාදැමුන අතර තවත් පනහකට අධික පිරිසක් තුවාල ලදහ.

යුද්ධයකින් දෙකඩ වී ඇති යේමනය සඳහා අළුතින් පත්කරන ලද කැබිනට් මණ්ඩලය අසල්වැසි සෞදි අරාබියේ සිට ගුවන් මගින් ‘ඒඩන්’ නගරයට ලඟාවීමෙන් සුළු වේලාවකට පසු පිපිරීමක් සිදු වූ බව යේමනයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

එම පිපිරීමට ගොදුරු වූ පුද්ගලයන් අතර ආධාර ආයතනවල සහ වෙනත් නිලධාරීන් ද වූහ. එහෙත් තමා සහ තම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ට හානියක් නොවූ අතර “යහතින් සිටින” බව යේමන් ආණ්ඩුවේ අගමැතිවරයා පවසයි.

එම ප්‍රහාරය ‘හූති’ ගරිල්ලන්ගේ ක්‍රියාවක් බවට යේමන් ප්‍රවෘත්ති ඇමතිවරයා චෝදනා කළේය. ඇමතිවරයා විසින් එම ප්‍රහාරය විග්‍රහකරන ලද්දේ “බියගුළු ත්‍රස්ත ප්‍රහාරයක්” හැටියටය.

2015 වසරේ පටන් යේමනයේ දරුණු යුද ගැටුමක් පවතී. එම යුද්ධය ආරම්භ වුනේ අරාබි රටවල් ඇතුළත් සෞදි අරාබිය නායකත්වය දෙන සන්ධානයක් ‘හූති’ (Houthis) ගරිල්ලන් පරාජය කිරීම සඳහා යුද මෙහෙයුමක් ආරම්භ කරනු ලැබීමත් සමඟය. බලය අහිමි වූ ජනාධිපති අබ්ද්රාබුද් මන්සූර් හාදි (Abdrabbuh Mansour Hadi) පාලනය යළි ස්ථාපනය කිරීම එම යුද මෙහෙයුමේ අරමුණ විය.

yeman
ප්‍රහාරය ප්‍රහාරය එල්ල වූ ඒඩන් නගරය ඇතුළත් යේමනයේ සිතියමක්

යේමන් යුද්ධය නිසා මේවනවිට මරාදැමුන ජනසංඛ්‍යාව 110.000කට අධික යයි ඇස්තමේන්තු කෙරෙයි. ඒ සමඟ දස ලක්ෂ ගණනක් ජනතාව ක්ෂුධාවට ඇදවැටීමෙන් ලෝකයේ දරුණුතම මානවීය විනාශයක් සිදුවෙමින් පවතී. ඒ අතරවාරයේ යේමනය කොරෝනා වසංගතය නිසා තවත් අන්තරායකාරී තත්වයකට ද මුහුණපා ඇත.

නව කැබිනට් මණ්ඩලය රැගත් ගුවන්යානයෙන් පැමිණි මගීන් ඉන් එලියට එමින් සිටිය දී මහා පිපිරීමක් සිදුව ඇති ආකාරය එම සිද්ධියට අදාළ වීඩියෝ පටයකින් පෙන්නුම් කෙරෙයි.

කැබිනට් ඇමතිවරුන් පිළිගැනීම සඳහා කණ්ඩායමක් ගුවන් තොටුපළේ රැස්ව සිටි අතර,ගුවන් පර්යන්තය දුමාරයකින් වැසීයමින් පවතිද්දී ඔවුන් ඉන් ඉවතට දුවන්නට පටන්ගෙන ඇත. එයින් ඇසිල්ලකින් පසු වෙඩිහඬ ඇසෙන්නට විය.

අඩුතරමින් පිපිරීම් දෙකක්වත් ඇසුන බව AFP මාධ්‍ය ජාලයේ වාර්තාකරුවෙක් පවසයි. යේමන් ජාත්‍යන්තර සහයෝගිතාව භාර ඇමති නජීබ් අල් – අව්ජ් (Najeeb al-Awj) විසින් ද පළකරන ලද්දේ ඊට සමාන අදහසකි.

පිපිරීමට හේතුව කුමක්ද යන්න අපැහැදිලිය. එහෙත් ගුවන් තොටුපොළට මෝටාර් මගින් එල්ලකරනු ලබන ෂෙල් ප්‍රහාර තුනක් එල්ලවී ඇතැයි ආරක්ෂක අංශයේ ආරංචි මාර්ගයක් ‘රොයිටර්’ පුවත්සේවයට ප්‍රකාශකර ඇත.

මේ අතර සෞදි අරාබියේ අල්- හඩාත් (Al-Hadath) රූපවාහිනිය මගින් විකාශනය කරන ලද වීඩියෝ පටයක් මගින් මිසයිලයක් ගුවන්තොටුපළේ ධාවනපථයෙහි පතිතව පුපුරායන ආකාරය ප්‍රදර්ශනය කෙරුණි.

2019 අගෝස්තු මාසයේ ‘හූති’ ගරිල්ලන් විසින් යේමන් යුදහමුදා පැරේඩයකට එල්ලකරන ලද මිසයිල් ප්‍රහාරයකින් තිස්හය (36) දෙනකු මරා දැමුණි.

YEMAN
නව කැබිනට් මණ්ඩලය පිළිගැනීම සඳහා කණ්ඩායමක් ධාවන පථය අසල රැස්ව සිටියහ

ඒඩන් ගුවන්තොටුපොළට එල්ලකෙරුන ප්‍රහාරයෙන් සිය කාර්යමණ්ඩල සාමාජිකයන් තුන්දෙනකු මරණයට පත්ව ඇති බව රතුකුරුසයේ ජාත්‍යන්තර කමිටුව (ICRC) පවසයි. එම ප්‍රකාශය අනුව ඔවුන්ගේ සාමාජිකයන් තවත් තුන්දෙනකු තුවාල ලැබ සිටින අතර එයින් එක් අයකුගේ තත්වය බරපතල මට්ටමක පවතී.

රතුකුරුස සංවිධානය විසින් නිකුත්කරනු ලැබ ඇති වාර්තාවක දැක්වෙන්නේ ඔවුන්ගේ කාර්යමණ්ඩලය තවත් සාමාන්‍ය වැසියන් සමඟ ගුවන් තොටුපළ ඔස්සේ වෙනත් ස්ථානයක් කරා ගමන්ගනිමින් සිටි බවයි.

රතුකුරුසයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ඩොමිනික් ස්ටිල්හාර්ට් (Dominik Stillhart) මෙසේ සඳහන් කළේය.

“පසුගිය අවුරුදු පහක කාලය තුළ යේමනයේ ජනතාව ඉතාම දරුණු ආකාරයේ පීඩාවකට පත්ව සිටිනවා. පිපිරීමෙන් තුවාල ලද හෝ මරණයට පත්වූවන් අයත් යේමන් පවුල් සහ රතුකුරුස සාමාජිකයන්ගේ පවුල්වලට මේවගේ ශෝකජනක වස් එකතුවෙමින් පවතිනවා.”

යේමන් කම්කරු අමාත්‍යාංශයේ සහකාර ලේකම් යැස්මින් අල් -අවාඩි (Yasmin al-Awadhi) මුලින් කී අනතුරෙන් මරණයට පත්වූ අතර, තරුණ සහ රැකියා කටයුතුභාර නියෝජ්‍ය ඇමති මොනීර් අල්-වජීහ් (Moneer al-Wajeeh) සහ නියෝජ්‍ය ප්‍රවාහන ඇමති නසීර් ෂරීෆ් (Nasser Sharif) තුවාල ලබා ඇති බව අල්-මස්දාර් ( Al-Masdar) යේමන් අන්තර්ජාල පුවත් වෙබ් අඩවිය වාර්තා කළේය.

ප්‍රහාරයෙන් අනතුරුව අගමැති මයීන් අබ්දුල්මලික් සයිඩ් (Maeen Abdulmalik Saeed) සහ ඔහුගේ ඇමති මණ්ඩලය ආරක්‍ෂිත ස්ථානයක් කරා රැගෙන යනු ලැබුණි.

yeman
ප්‍රහාරයෙන් පසු ගුවන් තොටුපළ අසල දර්ශනයක්

“අප සහ ආණ්ඩුවේ සාමාජිකයන් තාවකාලික අගනුවර වන ‘ඒඩන්’නගරයේ ඉන්නවා.අප සියලුදෙනාම හොඳින් ඉන්නවා,” යනුවෙන් අගමැති සයිඩ් විසින් නිකුත්කරන ලද ‘ට්විටර්’ පනිවුඩයක දැක්වෙයි.

“ඒඩන් ගුවන්තොටුපොළ ඉලක්කකර ගනිමින් එල්ලකරන ලද බියගුළු ත්‍රස්ත ප්‍රහාරය යේමන් රාජ්‍යයට සහ එහි ශ්‍රේෂ්ඨ ජනතාවට එරෙහිව ගෙනයමින් පවතින යුද්ධයේ කොටසක්,” අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

“එමගින් සිදුකෙරෙන්නේ අපට පැවරී ඇති කාර්යභාරය ඉටුකරනු ලැබීමේ අපගේ අධිෂ්ඨානය තවත් ශක්තිමත් වීමක්!.”

ගුවන්තොටුපොළ ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මාර්ටින් ග්‍රිෆිත්ස් ගේ (Martin Griffiths) දැඩි හෙලාදැකීමට ලක්විය.

“ඉදිරි කාලයේ මුහුණදීමට සිදුවෙන දුෂ්කර කාර්යභාරයට මුහුණදීම අතින් වඩාත් ශක්තිමත්වීම සඳහා මම කැබිනට් මණ්ඩලයට ශුභ පතනවා,” එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා පැවසීය.

“මේ අනුමත කළ නොහැකි ප්‍රචණ්ඩ ක්‍රියාව ඛේදවාචකයක්.යේමනය සාමයේ දිශාවට කඩිනමින් ආපසු ගෙනඑනු ලැබීමේ වැදගත්කම එම ප්‍රහාරය මගින් සිහිපත් කෙරෙනවා.”

බදාදා සවස මාෂික් (Maashiq) ජනාධිපති මන්දිරය අසලින් තවත් පිපිරීමක් වාර්තාවිය. එම ජනාධිපති මන්දිරය අගමැතිවරයා ආරක්ෂාව සඳහා තබා සිටින ස්ථානයයි. පුපුරන ද්‍රව්‍ය ඇතුළත් ‘ඩ්‍රෝන’ යානයක් වෙඩිතබා බිම හෙලනලද බව සෞදි අරාබියේ ‘අල් අරබියා’ රූපවාහිනිය වාර්තා කළේය.

හූති -සෞදි ගැටුමේ සුලමුල

හූති කැරලිකරුවන් විසින් ජනාධිපති අබ්ද්රාබුද් මන්සූර් හාදි (Abdrabbuh Mansour Hadi) සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය බලයෙන් නෙරපා හරිනු ලැබීමෙන් අනතුරුව ඔවුන් ‘සානා’ අගනුවරින් පළා ගිය අතර ඒ සමග ‘යේමන් යුද්ධය’ ආරම්භ විය.

යේමනයේ උතුරු පලාතෙන් වැඩි කොටස ‘හූති’ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතී.

සෞදි අරාබිය, බලයෙන් පහ කෙරුණු ජනාධිපති ‘මන්සූර් හාදි’ වෙනුවෙන් සහයෝගය දෙයි.

මේ අතර ඉරානයේ සහයෝගය ‘හූති’ ගරිල්ලන්ට ලැබෙන අතර, සෞදි අරාබියේ නායකත්වයෙන් ගොඩ නැගුන යුද සන්ධානය කැරලිකරුවන්ට ගුවනින් පහර එල්ල කරමින් සිටිති.

yeman
සෞදි අරාබි යුද සන්ධානය හූති කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් පසු

Text by bbc

RSL

Related Posts