බර්මිංහැම් සරසවිය ලන්ඩන් වෙළෙඳපොළට ආ ඉන්දීය කොරෝනා පෙත්ත බැහැර කරයි

Spread the love

කොවිඩ්-19 වෛරසයට ප්‍රතිකාරයක් ලෙස ලංකාවේ‘ හෙළ ඔසුව / ධම්මික පැණිය‘ ආදි නම්වලින් ‘නිල අනුමැතිය නොලත් ඖෂධයක් ප්‍රචලිත වේද්දී කොවිඩ්-19 වෛරසයෙන් දැඩිව බැටකන මහා බ්‍රිතාන්‍ය යෙන් සුවිශේෂී පුවතක් වාර්තා වේ. ඒ ඉන්දියාවේ නිෂ්පාදිත බව කියන ‘කොරෝනිල්’ ඉන්දීය කොරෝනා පෙත්ත බර්මිංහැම් සරසවිය විසින් ප්‍රතික්ෂේප කළ බවට වන පුවතයි.

බී.බී.සීය විසින් වාර්තා කළ එම පුවත බී.බී.සී සන්දේශය වෙබ්අඩවියේ ද ඊයේ (21) දින පළ වූ අතර මෙරට ජනතාව විෂයෙහි ද අතිෂයින් වැදගත් මෙම ප්‍රවෘත්ති විශේෂාංගය අප ද ඔබගේ දැනගැනීම පිණිස සම්පූර්ණයෙන්ම උපුටා ගෙන පළ කරමු.

‘කොරෝනිල්’: බර්මිංහැම් සරසවිය ලන්ඩන් වෙළෙඳපොළට ආ ‘කොරෝනිල්’ ඉන්දීය කොරෝනා පෙත්ත බැහැර කරයි

කෝවිඩ්-19 වෛරසයට ඔරොත්තුදෙන පරිදි මිනිස් ශරීරයේ ප්‍රතිශක්තිය නංවාලීමට උපකාරීවෙන බවක් පවසමින් ලන්ඩන් නගරයේ ඇතැම් වෙළඳසැල්වල අලෙවි කෙරෙමින් පවතින ඉන්දියානු “ඖෂධයක්” ව්‍යාජ නිර්මාණයක් බව බීබීසිය විසින් සිදුකරන ලද ගවේෂණයක් මගින් හෙළිදරව් වී තිබේ.

GETTY IMAGES
ස්ටර්ලිං පවුම් කෝටි ගණනක වත්කමක් සහිත ‘පතංජලී ආයුර්වේද්’ ව්‍යාපාරය පිහිටුවන ලද්දේ ආචාර්ය බාලක්‍රිෂ්ණ (වමේ) සහ බාබා රාම්දේව් විසිනි

ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබ ඇති ‘කොරෝනිල්’ (Coronil) නම් එම දේශීය (ඉන්දියානු) ශාකමය ඖෂධ ප්‍රතිකාරය ලන්ඩන් නගරයේ ආසියානු ප්‍රජාව වැඩිවශයෙන් ජීවත්වෙන කළාපවල වෙළෙඳසැල්වලින් හමුවූ බවත් වාර්තා වෙයි.

එය නිර්මාණය කරන ලද ‘පතංජලී ආයුර්වේද්’ නිෂ්පාදකයන් පවසන්නේ “හුස්ම ගැනීම කෙරෙහි බලපාන ආසදනයවීම්” වලදී ඔවුන්ගේ “බෙහෙත” රැකවරණයක් වන බවය.

එහෙත් බීබීසිය සඳහා සිදුකරන ලද අත්හදාබැලීම් වලින් එම ‘කොරෝනිල්’ (Coronil) පෙතිවලින් කොරෝනාවෛරසයෙන් බේරීමට රැකවරණයක් නොලැබෙන බව පෙන්නුම් කරනු ලැබ ඇත.

බීබීසිය වෙනුවෙන් එකී ඉන්දියානු පෙතිවර්ගය සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණය සිදුකරන ලද්දේ ‘බර්මිංහැම්’ සරසවිය විසිනි. ‘පතංජලී ආයුර්වේද්’ ව්‍යාපාරයේ ‘කොරෝනිල්'(Coronil) පෙත්ත නිර්මාණය කිරීමට යොදාගනු ලැබ ඇති ශාක පදනම් කරගත් වට්ටෝරුව මගින් කොරෝනාවෛරසයට පිළියමක් නොලැබෙන බව එම පරීක්ෂණයේ ප්‍රතිපලය විය.

“එම නිර්මාණය මගින් සිරුරේ ප්‍රතිශක්තිය නංවාලන බවක් ප්‍රකාශ කළත් කොරෝනාවෛරසයට ප්‍රතිකාරකිරීම අතින් එහි තේරුමක් නැති,” බව වෛරස් විශේෂඥවරියක වන වෛද්‍ය මෛත්‍රිය ශිව්කුමාර් (Virologist Dr Maitreyi Shivkumar) පවසයි.

“කෝවිඩ් -19 වෛරසයට එරෙහිව අපේ ශරීරයේ ප්‍රතිශක්ති රටාව ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද? කියන කාරණය සම්බන්ධයෙන් නොයෙක් විශ්ලේෂණ ඉදිරිපත් වෙනවා. නමුත් ප්‍රතිශක්තිය නංවාලීමට හේතුවෙන ආකාරයවත් අපි දන්නේ නැහැ,” වෛද්‍යවරිය පවසයි.

“කොරෝනිල් පෙත්ත ප්‍රතිශක්තිය වැඩිකරන්න හේතුවේද යන්න අපැහැදිලියි.”

එක්සත් රාජධානියේ බලපැවැත්වෙන වෙළෙඳ දැන්වීම් රෙගුලාසි අනුව කෝවිඩ් -19 ගැන සඳහන් කරනු ලැබීම සහ “ප්‍රතිශක්තිය නංවාලීම” ප්‍රචාරක දැන්වීම්වලට ඇතුළත් කරනු ලැබීම තහනම් ක්‍රියාවකි.

එහෙත් ඉන්දියාවේ ඊට අනුමැතිය ලැබෙන අතර පතංජලී ආයුර්වේද නිෂ්පාදන සඳහා විශාල ගැනුම්කරුවන් පිරිසක් ද සිටිති.

ලන්ඩන් නගරයට අයත් ‘වෙම්බ්ලි’ (Wembley) කළාපයේ පිහිටි එක්තරා වෙළෙඳසැලක් ‘කොරෝනිල්’ පෙත්ත “කොවිඩ්-19 සම්බන්ධයෙන් ප්‍රතිශක්තිකාරකයක්” වන බව පැවසෙන දැන්වීම් පළකර ඇති අතර, ඔවුන්ගේ අන්තර්ජාල වෙබ් අඩවියේත් ඒ ගැන සඳහන් කර ඇත.

එම වෙළෙඳසැල පමණක් නොව තවත් එවැනි ස්ථාන අඩුතරමින් හතරක්වත් බීබීසිය විසින් හඳුනාගනු ලැබ ඇති අතර, ඔවුන් පවසන්නේ එම “පෙත්ත” කෝවිඩ්-19 වෛරසයට ප්‍රතිකාරයක් වන බවය.

“මගේ වයස අවුරුදු 78යි. ඒනිසා මම ‘කොරෝනිල්’ පෙත්ත ගන්නවා.”

එක් පාරිභෝගිකයෙක් බීබීසියට පැවසීය.

“මම මට අවශ්‍ය දේවල් මිලට ගන්න නගරයට ගියොත්, වෙනත් අයගෙන් මට වෛරසය බෝවේවි.ඒ නිසයි-මම ‘කොරෝනිල්’ ගන්නේ. මගේ ආරක්ෂාවට.”

‘කෝවිඩ් ප්‍රතිකාරයක්’

‘දැන්වීම් ප්‍රමිතිය පිරික්සනු ලබන බල අධිකාරිය’ (ASA) පෙන්වාදෙන පරිදි, සිරුරේ ප්‍රතිශක්තිය නංවාලීමට හේතුවන්නේ යයි පැවසෙන කිසිදු ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් එක්සත් රාජධානිය තුළ සෞඛ්‍යමය ප්‍රචාරක කටයුතුවලට අනුමැතියක් නැත.

“වෛද්‍ය සහ සෞඛ්‍ය සංරක්ෂණ නිෂ්පාදන පාලන අධිකාරියේ” (MHRA) බලපත්‍රයකින් තොර, වෙනත් කිසිදු නිෂ්පාදනයක් කොරෝනාවෛරසයට ගොදුරුවීමෙන් වැලකීමට, ඉන් සහනයක් ලබාගැනීමට හෝ ප්‍රතිකාරයක් ලෙස යොදාගත හැකි බව පැවසෙන ප්‍රකාශන සඳහා එක්සත් රාජධානියේ අවසරයක් නොමැත.

‘කොරෝනිල්’ ඉන්දියානු පෙති පාවිච්චිය සඳහා “වෛද්‍ය සහ සෞඛ්‍ය සංරක්ෂණ නිෂ්පාදන පාලන අධිකාරිය” (MHRA) කිසිදු අනුමැතියක් දී නැත.

“එක්සත් රාජධානියේ වෙළෙඳපොළෙහි එවැනි වෛද්‍යමය අනුමැතියකින් තොර නිෂ්පාදනයක් ප්‍රචාරය කරනු ලැබීම හෝ වෙළෙඳාම සිදුකෙරෙන්නේනම්, ඊට එරෙහිව සුදුසු පියවර ගනු ඇතැයි,” වෛද්‍ය සහ සෞඛ්‍ය සංරක්ෂණ නිෂ්පාදන පාලන අධිකාරියේ (MHRA)පවසයි.

‘පතංජලී ආයුර්වේද්’ නිර්මාතෘ බාබා රාම්දේව් පසුගිය ජූනි මාසයේ ප්‍රකාශයක් කරමින් කොවිඩ් -19 ආසාදිතයන්ට ‘කොරෝනිල්’ ලබාදීමෙන් ඔවුන් සුවපත්කළ බවක් කියා සිටියේය.

“අපේ බෙහෙත දවස් තුනක් පාවිච්චි කරපු කොරෝනාවෛරස් ආසාදිතයන්ගෙන් 69%ක් වෛරසයෙන් තොර බව පැහැදිලි වුනා. බෙහෙත දවස් හතක් පාවිච්චිකරපු අය 100% කින් කොරෝනාවලින් මිදුනා.”

‘පතංජලී ආයුර්වේද්’ ව්‍යාපාරයට ‘කොරෝනිල්’ කොරෝනාවෛරසයට ප්‍රතිකාරයක් ලෙස නොව, ප්‍රතිශක්තිය නංවාලන නිෂ්පාදනයක් ලෙස අලෙවිකළ හැකි බව ඉන්දියානු ආණ්ඩුව පවසා ඇත.

කෙසේවුවද, ‘කොරෝනිල්’ කෝවිඩ් -19 වෛරසයට ප්‍රතිකාරයක් වන බව පැවසෙන ප්‍රකාශන ඉවත්කර ගැනීමට ‘පතංජලී ආයුර්වේද්’ ව්‍යාපාරය මේවනවිට පියවර ගෙන ඇත.

“මේවගේ නිෂ්පාදන සම්බන්ධයෙන් සිදුකෙරෙන වැරදි තොරතුරු ප්‍රචාරණය නිසා මහජන සෞඛ්‍යයට සහ ඔවුන්ගේ මුදල් තත්වයට හාණිකර බලපෑමක් ඇති කරනවා,” ෆුල් ෆැක්ට්(Full Fact) නම් ස්වාධීන තත්ව පරීක්ෂණ සංවිධානයක් පෙන්වා දෙයි.

“මේ වගේ වසංගත තත්වයක් තුළ මහජනයා කුමක් හෝ විසඳුමක් සොයායාම තේරුම්ගන්න පුළුවන්. එය ස්වභාවික තත්වයක්,” ෆුල් ෆැක්ට් (Full Fact) සංවිධානයේ පර්යේෂක අබ්බාස් පන්ජ්වානි (Abbas Panjwani) පවසයි.

covid-19
ලියාපදිංචි වෛද්‍ය වෘත්තිකයන්ගෙන් ලබාගන්නා ලද මෙවැනි නිර්ව්‍යාජ කොරෝනාවෛරස් මෙවලම් පමණක් පාවිච්චි කරන ලෙස බ්‍රිතාන්‍ය පොලිසිය මහජනයාට දැනුම්දෙයි

‘ව්‍යාජ නිෂ්පාදනවලින් වලකින්න’

කොරෝනාවෛරසයට ප්‍රතිකාර යයි පවසමින් නොයෙක් නිෂ්පාදන වෙළෙඳපොළට ඇතුල් කෙරෙමින් පවතින අතර, එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පොලිසිය විසින් එක්තරා පුද්ගලයකු පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුණි. කොරෝනාවෛරසයට ප්‍රතිකාරයක් යයි පවසමින් ව්‍යාජ නිෂ්පාදනයක් නිර්මාණය කිරීමේ චෝදනා යටතේ එම පුද්ගලයා අධිකරණය ඉදිරියට පමුණුවනු ලැබුණි.

59 හැවිරිදි ෆ්‍රෑන්ක් ලුඩ්ලෝෆ් (Frank Ludlow) නම් එම තැනැත්තා ලන්ඩන් නාගරික පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ ‘වෙස්ට් සසෙක්ස්’ ප්‍රදේශයේ ඔහුගේ නිවස අසල පිහිටි තැපැල් කාර්යාලයක් තුළ සිටියදීය.

ඇමෙරිකානු බුද්ධි ආයතනයක් විසින් සපයන ලද තොරතුරු අනුව එම අත්අඩංගුවට ගැනීම සිදුකරන ලද්දේ බුද්ධිමය දේපොළවලට අදාළ අපරාධ පරීක්ෂණ අංශය විසිනි.

ලුඩ්ලෝෆ් අත තිබුණ කෝවිඩ් ප්‍රතිකාර ‘මෙවලම්වල’ (kits) මිනිස් සිරුරට හානිකර රසායන වර්ගයක් අන්තර්ගත වූ අතර, මහජනයාට උපදෙස් දී තිබුණේ එම රසායනය කට සේදීම සඳහා පාවිච්චි කරන ලෙසය.

ව්‍යාජ නියෝජිතයකු ලෙස පෙනීසිටීම, වංචා සහගත ක්‍රියා සඳහා පාවිච්චි කරනු ලබන ද්‍රව්‍ය ලඟ තබාගැනීම සහ වෛද්‍යමය භාණ්ඩයක් නීතිවිරෝධී මට්ටමින් නිෂ්පාදනය කරනු ලැබීම ලුඩ්ලෝෆ් ට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා විය.

එම චෝදනා යටතේ ‘බ්‍රයිටන්’ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද ෆ්‍රෑන්ක් ලුඩ්ලෝෆ් (Frank Ludlow) රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුණි.

ලියාපදිංචි සෞඛ්‍ය වෘත්තිකයන්ගෙන් පමණක් උපදෙස් ලබාගන්නා ලෙස බ්‍රිතාන්‍ය පොලිසිය මහජනයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

කොවිඩ්-19 සම්බන්ධ අපගේ සංස්කරණ ප්‍රතිපත්තිය

කොවිඩ්-19 සම්බන්ධයෙන් හුදු ජනප්‍රිය හෝ අන්තර්ගතමය වටිනාකමක් නැති ආකර්ෂණීය පුවත් හා විශේෂාංග වෙනුවට ජනතාවට නිවැරදි අවබෝධයක් සහ දැනුමක් ලබාදිය හැකි නිවැරදි, නිරවුල් සහ විද්‍යාත්මක දැනුම සහ තොරතුරු පමණක් සන්නිවේදනය කිරීම අපගේ සංස්කරණ ප්‍රතිපත්තියයි. එම තත්ත්වය තුළ අප පාඨකයින් වෙනුවෙන් අදාළ නිවැරදි, නිරවුල්, සරල සහ විද්‍යාත්මක ලිපි පළ වන ඕනෑම වෙබ් අඩවියකින් හෝ පුවත්පතකින් එය ඍජුව උපුටා ගැනීමට අපි පියවර ගනිමු. මෙම කාලීන ලිපිය බී.බී.සී. සන්දේශය වෙබ් අඩවියේ පසුගිය 21 වැනි දින ‘කොරෝනිල්’: බර්මිංහැම් සරසවිය ලන්ඩන් වෙළෙඳපොළට ආ ‘කොරෝනිල්’ ඉන්දීය කොරෝනා පෙත්ත බැහැර කරයි යන ශීර්ෂය යටතේ පළ වූ වාර්තාවකින් උපුටා ගන්නා ලදි. ශීර්ෂ පාඨය පමණක් වෙනස්කර ඇති – ප්‍රධාන සංස්කාරක

RSL

Related Posts