ශ්‍රී ලංකාවේ සියවස් දෙකක ප්‍රතිශක්තිකරණ උරුමය 2021දී උරගා බැලෙනු ඇති !

දශක ගණනාවක් තිස්සේ දැඩි ශික්ෂණයෙන් හා කැපවීමකින් ගොඩ නගා ගත් ජාතික ප්‍රතිශක්තිකරණ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව සතුයි. වෛද්‍යවරුන්ගේ මගපෙන්වීම යටතේ මෙහි වැඩි වැඩ කොටසක් සිදු කරන්නේ ක්ෂේත්‍ර මට්ටමේ ප්‍රජා සෞඛ්‍ය සේවකයන් විසින්.  

නාලක ගුණවර්ධන

2020 වසරේ අපේ ලෝකය උඩුකුරු යටිකුරු කළ COVID-19 රෝගය වැළඳීමෙන් වැළකී සිටීමට හොඳම ආරක්ෂිත පියවර ලෙස එන්නත් සැලකිය හැකියි.

ඇමරිකාව, යුරෝපා හවුල, රුසියාව සහ චීනය වැනි රටවල නිපදවූ එන්නත් නිසි සායනික අත්හදා බැලීම්වලින් පසුව ඒ ඒ රටවල ඖෂධ නියාමන බලධාරීන් විසින් මහජන භාවිතය සඳහා ආරක්ෂිත යැයි අනුමත කෙරෙමින් පවතිනවා. 

මේවා වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ වඩාම කඩිනමින් අනුමැතිය ලැබූ එන්නත්. වෛද්‍ය පර්යේෂකයන් දහස් ගණනක ප්‍රයත්නවලින් බිහි වූ මේවා, බිලියන 7.5 මානවයන් සැමට ලබා දීම ඉතිහාසයේ දැවැන්තම සංවිධානාත්මක ක්‍රියාන්විතයක් වනු ඇති! 

එන්නත් බෙදා හැරීමේ යටිතල පහසුකම් නිසි ලෙස පෙළ ගස්වා ගැනීම සහ රටේ සියලුම ජනයාට කෙටි කාල පරාසයක් තුළ COVID-19 එන්නත් ලබා දීම 2021දී ලෝකයේ සියලු රටවල ආණ්ඩු මුහුණ දෙන අභියෝගයයි.

ඉල්ලුම සහ සැපයුම යන විශ්ලේෂණය සාමාන්‍යයෙන් හමු වන්නේ වෙළෙඳපොළ ආශ්‍රිතව වුවත්, වෙනත් සමාජයීය ක්‍රියාදාමයන් තේරුම් ගැනීමටද එය රාමුවක් කර ගත හැකියි.  ඒ අනුව එන්නත් සම්බන්ධයෙන් ද සැපයුම් පැත්තක් සහ ඉල්ලුම් පැත්තක් මා දකිනවා. 

එන්නත් නිපදවා, ආරක්ෂිත බව තහවුරු කොට, නියාමන අනුමැතිය ලැබී, ප්‍රවේශමින් බෙදා හැරීම සැපයුම් පැත්තයි. මේ දිනවල වැඩිපුරම අවධානය යොමුව ඇත්තේ COVID-19 එන්නත්වල සැපයුම් පැත්තටයි.

එන්නත් හරහා ලැබෙන ප්‍රතිශක්තිකරණය බෝවන රෝගවලින් බේරී සිටීමට ඇති සුරක්ෂිතම ක්‍රමෝපාය බව තේරුම් ගනිමින් ස්වේච්ඡාවෙන් සහ උද්යෝගයෙන් එම එන්නත් ලබා ගැනීමට මහජනයා පෙලගැසීම එහි ඉල්ලුම් පැත්තයි.

මේ දෙපසෙහිම අභියෝග රැසක් තිබෙනවා. සැපයුම පැත්තේ අභියෝග ජයගන්නට වෛද්‍ය විද්‍යාත්මක, භෞතික විද්‍යාත්මක සහ කළමනාකරණ ක්‍රමවේදයන් අවශ්‍යයි. ඉල්ලුම පැත්ත මනාව පවත්වා ගන්නට සමාජ විද්‍යාත්මක, මානව විද්‍යාත්මක සහ සන්නිවේදන ක්‍රමවේදයන් ඕනෑ කරනවා.

ප්‍රතිශක්තිකරණ සැපයුම් පැත්තේ පෙළ ගැස්ම ගැන අද තව ටිකක් කතා කරමු.

ප‍්‍රතිශක්තිය (immunity) යනු ශරීරයට පිටතින් ඇතුළුවන රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන්ගෙන් පුද්ගලයකුට ඇති විය හැකි රෝග සහ සංකූලතා වළක්වා ගැනීමට ශරීරයේ ඇති ස්වභාවික හැකියාවයි.

ප්‍රතිශක්තිකරණය (immunization) යනු බෝවන රෝග වැළඳීම වළක්වා ගැනීමට ප්‍රතිශක්තියක් ශරීරයේ කල් තබා ජනනය කොට තැබීමේ උපක්‍රමයක්.

ප්‍රතිශක්තිකරණ එන්නත් දීමේදී කරන්නේ ඉතා අඩු මාත්‍රාවකින් අදාළ රෝග කාරකය සිරුරට හඳුන්වාදීමයි. එවිට ස්වභාවිකව ජනනය වන ප්‍රතිදේහ, සිරුරේ කලක් රැඳී පවතිනවා. අදාළ රෝග කාරකය සිරුරට පිවිසි එයට එරෙහිව වහාම ප්‍රතිරෝධයක් මතු කොට එම රෝගයෙන් බේරීමට හැකියාව ලබා දෙනවා. 

ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ ඉතිහාසය වසර දෙසීයක් අතීතයට දිවෙනවා. අපේ රටේ වෛද්‍ය විද්‍යා ඉතිහාසය ගවේෂණය කොට විශිෂ්ට ලෙසින් ලේඛනගත කළ වෛද්‍ය ක්‍රිස්ටොෆර් ජී ඌරගොඩ කියන හැටියට, භයානක බෝවන රෝගයක් වූ වසූරියට එරෙහිව එන්නත් කිරීම බ්‍රිතාන්‍ය පාලකයන් විසින් මෙරටට හඳුන්වා දෙනු ලැබුවේ 1802දී. 

ඒ අනුව ප්‍රතිශක්තිකරණය ලොවට හඳුන්වා දී වසර හයක් ඇතුළත එය ශ්‍රි ලංකාවටද පැමිණියා. මුල්වරට එන්නතක් නිපද වූයේ ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයකු වූ එඩ්වඩ් ජෙනර් විසින්. ඒ වසූරියට එරෙහිව 1796දී. 

එහෙත් අඛණ්ඩ ලෙස ප්‍රතිශක්තිකරණය පවත්වා නොගත් නිසා විටින් විට වසූරිය වසංගත මෙරට පැතිර ගියා. 1886දී පනවන ලද එන්නත් පිළිබඳ ආඥා පනතට (Vaccination Ordinance) අනුව සෑම පුද්ගලයකුටම වසූරිය එන්නත ලබා ගැනීම අනිවාර්ය කෙරුණා. මෙරට ප්‍රතිශක්තිකරණ වැඩකටයුතු විධිමත් ලෙස ක්‍රියාත්මක වුණේ එතැන් පටන්.

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග තවත් බෝවන රෝගවලට එරෙහිව එන්නත් නිපදවනු ලැබුවා. නොබෝ කලකින් එම එන්නත් ශ්‍රී ලංකාවේ ද ලබා දීම ඇරඹුණා: ක්ෂයරෝගයට එරෙහිව BCG එන්නත (1949), ගලපටලය, කක්කල් කැස්ස සහ පිටගැස්මට එරෙහි ත්‍රිත්ව එන්නත (1961), මුඛ පෝලියෝ එන්නත (1962), නවජ දරුවන් සඳහා BCG එන්නත (1963), ගැබිණි මවුවරුන්ට පිටගැස්ම ධූලකය ලබා දීම (1969) ආදී වශයෙන්.

ලොව පුරාම එන්නත් ආවරණය වැඩි කර ගැනීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් 1974දී ගෝලීය වශයෙන් ව්‍යාප්තිත ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන (Expanded Programme on Immunization, EPI) ආරම්භ කරනු ලැබුවා. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ අනෙකුත් ලෝක සංවිධානවල නොමසුරු සහය එයට ලැබුණා.

මෙම ගෝලීය ප්‍රයත්නයට සමගාමීව, UNICEF සහාය ඇතිව, 1978දී ශ්‍රී ලංකාවේ ජාතික ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන, කඩිනම් දීපව්‍යාප්ත වැඩසටහනක් ලෙස නව ජවයකින් දියත් කෙරුණා.

එය කේන්ද්‍රගත වූයේ ළමා වියේ ක්ෂය රෝගය, පිටගැස්ම, ගලපටලය, පෝලියෝ සහ නවජ පිටගැස්ම පාලනය කිරීම කෙරෙහියි. 1988දී මෙම කේන්ද්‍රීය අවධානය රෝග තුරන් කිරීම කරා මාරු වුණා. 1991දී පෝලියෝ තුරන් කිරීමේ ක්‍රියාවලියට පහසුකම සැපයීම පිණිස පාසලට ඇතුලත් වීමේදී මුඛ පෝලියෝ එන්නතේ පස්වැනි මාත්‍රාව ලබා දීම පටන් ගත්තා.

ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ ආවරණය කාලානුරූපව පුළුල් කොට තිබෙනවා. මෑත මංසලකුණු අතර: සරම්ප එන්නත හඳුන්වා දීම (1984), පිටගැස්ම ධූලකය සඳහා කාලසටහන සංශෝධනය කිරීම (1991), රුබෙල්ලා එන්නත හඳුන්වා දීම (1996), අදියර පදනමින් හෙපටයිටිස් බී එන්නත හඳුන්වා දීම (2003).

මෙරට ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය අංශයේ තවත් ආයතන රැසක්, පෞද්ගලික සමාගම් සහ සිවිල් සමාජ සංවිධාන හවුල් කර ගෙනයි.

උදාහරණයක් ලෙස පෝලියෝ ප්‍රතිශක්තිකරණ කටයුතු සඳහා ලෝක ව්‍යාප්ත ස්වේච්ඡා ආයතනයක් වන රෝටරි පදනමින් (Rotary Foundation) බොහෝ ආධාර ලැබී තිබෙනවා. 

එපමනක් නොවෙයි. යුද්ධය පැවැති 1995 සහ 1996 වර්ෂවල ජාතික ප්‍රතිශක්තිකරණ දිනයේදී දිවයින පුරා සිටින දරුවන්ට එකම අවස්ථාවේ පෝලියෝ එන්නත් ලබා දීමට අවශ්‍ය වුණා. එහෙත් ඒ වන විට උතුරු නැගෙනහිර ඇතැම් ප්‍රදේශ පැවතියේ කොටි සංවිධානයේ පාලනය යටතේ.

ප්‍රතිශක්තිකරණ දිනය සඳහාම සුවිශේෂී (පැය 24) කෙටි සටන් විරාමයක් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සහ LTTE සංවිධානය මානුෂීය පදනමෙන් එකඟ කරවා ගැනීමට මෙරට රෝටරි සමාජවල ජාතික නායකත්වය සමත් වුණා

නිසි වේලාවට ප්‍රතිශක්තිකරණය ලබා දීම හරහා ළමා පරපුර රැක ගැනීමේ අරමුණ සටන් වැද සිටි දෙපාර්ශ්වයටම ඒත්තු ගැන්වීම ගැන දන්නෙ කී දෙනාද?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා ජාතික ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන 2016දී පල කරන ලද පොතක මෙසේ සඳහන් වනවා: “මෙලෙස එන්නත් වර්ග හා ඒවායේ ආවරණය වැඩි කර ගැනීම තුළින් ලෝකයේ බෝවන රෝග විශාල සංඛ්‍යාවක් වැළඳීම පාලනය කර තිබේ. එබැවින් එන්නත් මගින් වළක්වා ගත හැකි රෝග රාශියක වාර්ෂික පතනය (වර්ෂයක් තුළ අලුතින් බිහි වන රෝගීන් ප‍්‍රමාණය/incidence) අවම වී ඇත. මේ වන විට වසූරිය රෝගය ලෝකයෙන් තුරන් කර ඇති අතර, බොහෝ රටවල පෝලියෝ රෝගීන් තව දුරටත් වාර්තා නොවේ.”

ප්‍රතිශක්තිකරණය සඳහා යම් පිරිවැයක් දැරීමට රජයට සිදුවන නමුත් එයින් ලැබෙන මානුෂික, සමාජයීය සහ ආර්ථික ප්‍රතිලාභ ඉමහත්.

“[ප්‍රතිශක්තිකරණය] නිසා රෝග හේතුවෙන් පුද්ගලයාට, පවුලේ සාමාඡීකයින්ට සහ සමාජයට ඇති විය හැකි බලපෑම හා හානිය (burden of disease) අවම කර ගෙන ඇත. එසේම ප‍්‍රතිශක්තිකරණය ලබා ගන්නා ලද පුද්ගලයින් නිසා සමාජයේ සාමාන්‍ය ප‍්‍රතිශක්ති මට්ටම ඉහළ යාම හා ආසාදනය පැතිර යාම අවම වීම තුළින් ප‍්‍රතිශක්තිකරණය නොලබා සමාජයේ සිටින සුළු පිරිස ද ආරක්ෂා වේ (herd immunity)” යයි 2016 සෞඛ්‍ය අමාත්‍යාංශ පොතේ පෙන්වා දෙනවා.

ප්‍රතිශක්තිකරණය සාර්ථකව පවත්වා ගැනීම සඳහා නිසි ප්‍රමිතියේ එන්නත් මෙන්ම ඒවා ආරක්ෂිතව බෙදා හැරීම සහ ශරීරගත කිරීම සඳහා නිසි පුහුණු ලත් සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයත්, යටිතල පහසුකමුත් අවශ්‍යයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශනයට අනුව, සෑම එන්නතක්ම අධික උෂ්ණත්වයට නිරාවරණය වී යම් කිසි කාල සීමාවක් ගත වූ පසු ඒවාහි ගුණාත්මකභාවය විනාශ වනවා. එසේම සෑම අජීවී එන්නතක්ම අධිශීතනය වුවහොත් ඒවායේ ගුණාත්මකභාවය නැති විය හැකියි. ඊට අමතරව එන්නත් හිරු එළියට සෘජුවම නිරාවරණය වීම තුළින් ද විනාශ විය හැකියි. 

මේ නිසා එන්නත්වල ගුණාත්මකභාවය සහතික කිරීමට නම්, එන්නත් නිෂ්පාදන කරන තැන සිට එන්නත්ලාභියාට එය ලබා දෙන තෙක්, සෑම එන්නතක්ම නියමිත උෂ්ණත්ව පරාසයේ ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම හා භාවිතය සිදු කළ යුතුයි. සමහර එන්නත් ඒවා ලබා දෙන අවස්ථාවේ දී එන්නත් සායනයේ දී ද මෙම උෂ්ණත්ව පරාසය තුළ තබා ගැනීම අවශ්‍යයි. 

දැනට විවිධ රෝගවලට එරෙහිව දෙන එන්නත් බහුතරයක් සෙන්ටිග්‍රේඩ් අංශක 2 – 8 අතර පවත්වා ගත යුතුයි. (මෙය සාමාන්‍ය ශීතකරණයක උෂ්ණත්ව පරාසයයි.) ඝර්ම කලාපීය රටවල දහවල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 25 – 40 අතර වනවා.

ඒ කියන්නේ එන්නත් බෙදා හැරීමට ශීත දාමයක් (cold chain) අත්‍යවශ්‍ය බවයි. එන්නත් නිෂ්පාදනයේ සිට එන්නත්ලාභියාට ලබා දෙන තෙක් එම එන්නත් ප්‍රශස්ත උෂ්ණත්වයේ පවත්වා ගැනීම ශීත දාමය ලෙස හඳුන්වනවා. මෙයට දායක වන කාර්ය මණ්ඩලය හා යොදා ගන්නා උපකරණ යන දෙකම ශීත දාමයේ අංගයි.

ශීත දාමය පවත්වා ගැනීමට අවශ්‍ය උපකරණ වන්නේ ශීත කාමර (cold rooms, ශීතකරණ (refrigerators), අධි ශීතකරණ (freezers), ශීත පෙට්ටි (cold boxes), එන්නත් බහාලූම් (vaccine carriers), විදුලි ජනක යන්ත‍්‍ර (generators), උෂ්ණත්වමාපක, ඉලෙක්ට්‍රොනික උෂ්ණත්ව දත්ත මාපක, ඩේටා ලොජර් (data lodgers), ලොග් ටැග්ස් (log tags), අධිශීත දර්ශක (freeze tags) සහ එන්නත් ප්‍රවාහනය කරන වාහන. 

ශීතදාමය නිසි ලෙස පවත්වා නොගත් එන්නත් ශරීර ගත කළොත් එම එන්නතෙහි ඇති රෝග වැළැක්වීමේ හැකියාව හීන වනවා. එසේම ස්ථානීය අතුරු ආබාධ ඇති වීමේ අවදානම වැඩි වනවා.

ශ්‍රී ලංකාවට පිටරට සිට එන්නත් එවන්නේ ස්ටයිරොෆෝම් පෙට්ටිවල අසුරා ගුවන් මගින්. මෙරට පැමිණි විට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් භාර ගනු ලබන එන්නත් තොග, විශේෂ ශීතනය කළ වාහන මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයට ගෙන යනවා.

ඉන් පසු එන්නත් ශීතදාමය නිසි ලෙස ආරක්ෂා කරනු ලබන ශීත කාමරවල ගබඩා කැරෙනවා. මෙම එන්නත් දිස්ත‍්‍රික්කවලට බෙදා හැරීම සිදු කරන්නේ ශීතකරණ අඩංගු වාහනවල අසුරා සෑම මාස දෙකකට වරක් පෙර සකස් කරන ලද කාලසටහනකට අනුවයි. 

ප්‍රාදේශීය බෙහෙත් ගබඩාවලට ලබා දුන් එන්නත්, සෑම මාසයකටම වරක් දිස්ත්‍රික්ක ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට හා අවශ්‍යතාව මත සමහර රජයේ රෝහල්වලට ද ලබා දෙනවා. මෙහි දී එන්නත් ප්‍රවාහනය කරන්නේ ශීත පෙට්ටිවල තැන්පත් කොටයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සිට සායන දක්වා එන්නත් ගෙනා යා යුත්තේ එන්නත් බහාලූම් තුළයි. එන්නත් බහාලූමක උෂ්ණත්වය නිසි පරාසයක පවත්වා ගැනීම සඳහා එය තුළට පදම් කළ අයිස් පැක්ස් දැමිය යුතුයි.

මෙහිදී මා සරලව සඳහන් කලත් ඉහත ක්‍රියාදාමයේ හැම අදියරකදී තත්ව පාලනය සහ උෂ්ණත්ව පාලනය රැක ගැනීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනුගමනය කරන නිශ්චිත පියවර තිබෙනවා. විවිධ බෝවෙන රෝගවලට එරෙහිව ලබා දෙන විවිධ එන්නත් එකට ප්‍රවාහනය කලත්, ඒවා භාවිතයට පෙර සායනික සම්ප්‍රදායන් රැසක් අනුගමනය කරනවා. 

මේසියල්ලෙන්තහවුරුවන්නේදශකගණනාවක්තිස්සේදැඩිශික්ෂණයෙන්හාකැපවීමකින්ගොඩනගාගත්ජාතිකප්රතිශක්තිකරණක්රමවේදයක්ශ්රීලංකාවසතුබවයිවෛද්යවරුන්ගේමගපෙන්වීමයටතේමෙහිවැඩිවැඩකොටසක්සිදුකරන්නේක්ෂේත්මට්ටමේප්රජාසෞඛ්සේවකයන්විසින්.  

2020 වසරේ කොරෝනා රෝග මර්දනයේදී ප්‍රජා සහ ක්ෂේත්‍ර මට්ටමේ සෞඛ්‍ය සේවකයන්ට ලැබුණේ සාපේක්ෂව අඩු අවධානයක්. එහෙත් ලෝක ඇගයීමට ලක් වූ ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවාවේ අරටුව වන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) ඇතුළු ප්‍රජා මට්ටමින් ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයයි. 

2021 වසරේදී WHO අනුමැතිය ඇතිව ලක් රජය මෙරටට ගෙන ඒමට නියමිත COVID-19 එන්නත්, මිලියන 22කට ආසන්න සියලු ලක් ජනයාට ක්‍රමානුකූලව සහ සුපරීක්ෂාකාරීව ලබා දීමේ අභියෝගයට උර දෙන්න ඔවුන් පෙළ ගැසෙනු ඇති.

එන්නත් පිළිබඳ ඉල්ලුම් පැත්තේ අභියෝග ජය ගැනීම ගැන ලබන සතියේ.

නාලක ගුණවර්ධන

Loading...

RSL

Related Posts