පාම් ඔයිල් සමාගම් දෙකක් නිසා ශ්‍රී ලංකා රේගුවට 6130ක් අහිමි වෙයි

2013-2016 වර්ෂ ඇතුළත මෙරටට පාම් ඔයිල් ආනයනය කළ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් නිසා ශ්‍රී ලංකා රේගුවට රුපියල් මිලියන 6130 ක් අහිමිව ඇති බව ඊයේ (03) පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය

ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය නිසා අදාළ කාල පරිච්ඡේදය තුළ   නිවැරදි භාණ්ඩ සංයෝජිත වර්ගීකරණ අංක ( HS Code ) යටතේ නිෂ්කාෂණය නොකිරීමෙන්  මෙම මුදල අහිමිව ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව  විගණන විමසුමකින් හෙළිදරවි කර තිබේ.

මෙම වසර ත්‍රිත්වය සඳහා අදාළ සමාගමිවලින් රජයට පාඩු වූ  මුදල් අයකරගැනීම සඳහා  විමර්ශන කටයුතු ඉදිරියට ගෙනයාමට  මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා කටයුතු කර තිබුණද ශ්‍රී ලංකා රේගුව   කඩිනමින් ඒ සම්බන්ධව පියවර  ගත යුතු බවට කාරක සභාව නියෝග කළ අවස්ථාවේදී රේගු අධ්‍යක්ෂ ජනරාල් විජිත රවිප්‍රිය මහතා  ඒ සමිබන්ධව සිය එකඟත්වය පළ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රජයේ ගිණුම් කාරක සභාව හමුවට ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ඉහළ නිලධාරීන්  පිරිසක් පැමිණි සිටි අතර ඊට අමතරව මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරීහුද විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්ද සහභාගී වූහ. 

එහිදී අවධානයට ගැනුණු තවත් කරුණක් වූයේ  2013 වසරේ සිට ආනයනකරුවන් විසින් විශේෂිත කාර්යයන් සඳහා ආනයනය කළ වාහන, ද්විත්ව කාර්ය වාහන (Dual purpose) ලෙස ලියාපදිංචි කිරීම නිසා  බදු වශයෙන් ලැබිය යුතු  රුපියල් මිලියන  220 ක් රජයට අහිමිවී තිබීමය. ඊට අමතරව, 2010-2019 දක්වා  කාලයෙහි  විශේෂිත වෑන් රථ 443 ක් සඳහා මිලියන 3 බැගින් බදු නියම කර අවම වශයෙන් රු.මි. 1300 ක මුදලක් රජයට අයකර ගත හැකිව තිබූ බවද මෙහිදී අනාවරණය විණී. 

එමෙන්ම 2010 සිට 2014 දක්වා , වෑන් 10 ක්   සහ  ලොරි 414 ක් විශේෂිත කාර්යය වාහන ලෙස ආනයනයෙන් තවත් විශාල රේගු බදු අක්‍රමිකතාවක් සිදුව ඇති බව විගණනයෙන් පෙන්වා දී තිබූ කරුණුද මෙහිදී සාකච්ඡාවට ලක්විය. 

තවද රු.මි. 9 කට ආසන්න වටිනාකමකින් යුතු සුඛෝප‍භෝගී මෝටර් රථයක් විශේෂ කාර්ය වාහන කාණ්ඩය යටතේ රු.මි. 1.5 ක බද්දක් පමණක් අය කරගනිමින් ශ්‍රී ලංකා රේගුව විසින් මුදවා හැරීමද කමිටුවේ අවධානයට ලක්විය. එම රථය අදාළ   ප්‍රවාහන කාණ්ඩය යටතේ නිෂ්කාෂණයට කටයුතු යෙදවූයේ නම්, රජයට අයවිය යුතු බද්ද රු. මි. 56 කට ආසන්න වේ. මෙම සියලු නිරීක්ෂණ පෙන්වා දීමෙන් අනතුරුව,  මුදල් අමාත්‍යංශ ලේකම් එස් .ආර් ආටිගල මහතාගේ ද එකඟත්වයෙන්, රේගුව සහ මෝටර්රථ දෙපාර්තමේන්තුව අතර  සාකච්ඡාවකින් පසුව කඩිනම් ස්වයංක්‍රීය  පරිගණක සැසඳුමි පද්ධතියක් පවත්වාගෙන යාමට මීට පෙර අවස්ථාවකදී රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් ලබා දුන් නිර්දේශය  සමිබන්ධව කඩිනමින් පියවර ගැනීමට යෝජනා කෙරිණි.

ඒ සඳහා පනත් සංශෝධනයක්  අවශ්‍ය වන්නේ නම් ඊට නීති සම්පාදනයෙන් මැදිහත්වීමට ගිණුම් කාරක සභාවේ සභික මන්ත්‍රීවරයන්ගේ සහයෝගයද පළ විය.

ආනයන සහ අපනයන ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකා රේගුවේ  ප්‍රමාණවත් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීම සහ පරිපාලනයේ හිඩැස් නිසා  එකම ආනයනකරුවකු විසින් අවස්ථා හයකදී  රු.39,335,091 වටිනා සුවඳ විලවුන් අඩංගු බහාලුම් හයක් බටහිර ඖෂධ ලෙස ප්‍රකාශ කර වංචා සහගතව  නිදහස් කරගැනීමෙන්  ශ්‍රී ලංකා රජයට රුපියල් 40,761,600ක අහිමිවීම සහ එම වංචාවට සම්බන්ධ වූ නිලධාරීන්ට  ප්‍රමාණවත් දඬුවම් ලබාදීමටද කටයුතු නොකිරීමද මෙහිදී  අනාවරණය විණි. 

  2019 වසරේ ශ්‍රී ලංකාවේ ආදායමෙන් 32.48%ක ප්‍රතිශතයක් එකතු කරන රේගුවේ කාර්ය මණ්ඩලය සිය පැමිණීම- පිටවීම සටහන් කෙරෙන ඇඟිලි සලකුණු යන්ත්‍ර සදහා විරුද්ධත්වය දැක්වීම, අභ්‍යන්තර පාලන දුර්වලතා, දෙපාර්තමේන්තු නීති අංශය සඳහා නීතිවේදියෙකු සහ ප්‍රධාන අභ්‍යන්තර විගණකවරයකු බදවාගැනීම ආදී ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ද මෙහිදී කාරක සභා සභිකයන්ගේ අවධානයට ලක්වූ අතර සමස්ත විගණන විමසුම් සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරු සමග රේගු නිලධාරීන් තවත් දෙමසකට පසු   කාරක සභාවට කැදවීමටද මෙහිදී තීරණය විය.

Loading...

RSL

Related Posts