ගුරුවරුන් කියන දේ අවිශ්වාස කරන තැනට පාර කැපුවේ කවුද ? – එරාන් මැතිසබේදී හෙළි කරයි

2018 ඒ අවාසනාවන්ත පාස්කු ප්‍රහාරයෙන් පසුව අපේ ආණ්ඩුව නැවත පාසල් විවෘත කරන්න යන විට, ළමුන්ව දෙමව්පියන්ව බය කළා. රජය පාසල් විවෘත කළත් ළමයි පාසල් ඇවිත් නෑ කියලා හිස් පන්ති කාමර පෙන්නුවා. political – media agenda අනුව එදා ආණ්ඩුව අපකීර්තියට පත්කරන්න උත්සාහ කළා. ගුරුවරුන් දෙන සහතිකය අවිශ්වාස කරන තැනට වැඩ හැදුවා. ඒ නරක වැඩේ අද ආණ්ඩුවට “පාරාවළල්ලක්” වෙලා.      

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ තිත්ත ඇත්ත මෙන්න   පාස්කු ප්‍රහාරයේදී පාසල් ගැන ඇති කළ භීතිය ගැන ආණ්ඩුවට පරාවළලක් වෙලා   ජාතික සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අද (01) අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ පාර්ලිමේන්තු විවාදයේ දී කළ සම්පූර්ණ කතාව.    

රටක අධ්‍යාපනය සකස් විය යුත්තේ කොහොමද ? අද  වගේ කාලයක, අද වගේ දවසක මේක අහන්නම ඕන ප්‍රශ්නයක් ? ඇත්ත වශයෙන්ම අපි අද දවසේ අධ්‍යාපනය සකස් කරන්න අවශ්‍ය  අපේ දරුවන්ට හෙට ලෝකය දිනන්න අවශ්‍ය වන ලෙසයි. ඔවුන් අධ්‍යාපන සහතික දෙස බලමින් හූල්ලන, අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතු නෑ. තරුණ අසහනය වර්ධනය වීම නිසා, අපේ  පරම්පරා දෙකක්  වන්දි ගෙවා තිබෙනවා. ඒ නිසා දැන් ඇති. එහෙම නම් අද දවසේ අපි අපේ අධ්‍යාපන  ප්‍රතිපත්තිය සකසන්න අවශ්‍ය “හෙට” ලෝකය දිනන්නයි.     

අද, අපි වාද විවාද කල යුතුව තිබෙන්නේ ඒ ගැනයි! 

ලංකාවේ, 10-13 ශ්‍රේණි ආශ්‍රිත ද්විතියික අධ්‍යාපනය ගැන කතා කරනකොට, තවමත් (net enrollment rate ) ශුද්ධ බඳවා ගැනීමේ අනුපාතය 65% යි. ඉතුරු 35% ට මොකද වෙන්නේ ?     ඒ වගේම තමයි සෑම වසරකම පළමු ශ්‍රේණියට ඇතුළත් වන ළමුන්ගෙන් 6%ක් පමණයි, විශ්ව විද්‍යාලයට යාමට  අවස්ථා හිමිකර ගන්නේ.

ඒ වගේම තමයි, නිසි අධ්‍යාපන හෝ නිපුණතාව, පුහුණුවකින් තොරව 33% ක් රටේ ශ්‍රම වෙළඳපොළට එකතු වෙනවා. ඒ නිසාම, අවුරුදු 15-24ත් අතර තරුණ විරැකියා අනුපාතය ඉහළ අගයක සඳහන් වෙනවා.    

ඒ වගේම තමයි කොවිඩ් ගෝලීය වසංගතය අවස්ථාවේ “දුරස්ථ අධ්‍යාපනයට” ළමුන් යොමුකරනවා කිව්වා. අපි ඒ සඳහා රටක් ලෙස සූදානම්ව සිටියද? අපි අධ්‍යාපන කටයුතු සිදුකල ආකාරය සම්බන්ධව තෘප්තිමත් වෙන්න පුළුවන්ද ? පාසල් ළමුන් කීයෙන් කී දෙනාටද, laptop, ipads. computer, smartphone තිබුණේ ? තමන්ගේ පවුලේ ජීවන බර දරාගන්න බැරුව හිටපු මිනිස්සු කොවිඩ් හමුවේ තවත් දුෂ්කරතාවට පත්වුණා. ඒ මිනිස්සු කොහොමද දරුවන්ට මේ තාක්ෂණික මෙවළම් අරගෙන දෙන්නේ ? ආණ්ඩුව ඒ ගැන හොයලා බැලුවද ? අනුන්ගේ එකක් හරි ඉල්ලගත්තත් හැමෝටම 4G පහසුකම් තිබුණද ? internent speed සහ  signal ප්‍රශ්න කොච්චර තිබුණද ?     

මේ වගේ ප්‍රශ්න රැසක් සමඟ තමයි අද මේ අධ්‍යාපන අමාත්‍යංශ වැය ශීර්ෂය ගැන විවාදය සිදුකරන්න සිදුව තිබෙන්නේ.    

ගරු කතානායකතුමනි,     

අපි දන්නවා රටේ ආදායම් බෙදීයාමේ පරතරයක් තියෙනවා. අපේ වගේ රටවල එය බරපතල ලෙස තිබෙනවා. මේ ඇති නැති පරතරය නැති කරන මෙවලම තමයි අධ්‍යාපනය. සමාජ ඉණිමගේ ඉදිරියට යන්න ඕනෑම අයෙකුට හැකියාව තිබෙනවා. නමුත් ඒ සඳහා ඔහුට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමිවෙන්න ඕන.       

අපේ රටේ ද්විතියික අධ්‍යාපනය ලබමින් සිටි පිරිසගෙන් බහුතරයකට කොවිඩ් නිසා අධ්‍යාපන අවස්ථාව නිසි ලෙස හිමි වුණේ නෑ. තියෙන කෙනා ඉගෙන ගනී, නැති කෙනා “අතහැරපු” අධ්‍යාපන ක්‍රමයක්  තමයි, පසුගිය කාලයේම ලැබුණේ.

විධිමත් ලෙස ළමුන් Online අධ්‍යාපනයට යොමුකරන්න ආණ්ඩුව මොනවද කලේ ?  මැදිරියක සිට සජීවීව ඉගැන්වූ පාඩමක් ඉගෙන ගන්න, ළමයි කීදෙනෙක් සම්බන්ධ වුණාද ? මොනවද ඒ සම්බන්ධව තියන දත්ත ? මොකුත් නෑ.  අවාසනාවන්ත තරුණ කැරළි තුනකට මුහුණදීපු රටක් එහෙමද රටේ අනාගතය සමඟ කටයුතු කරන්නේ ? කොවිඩ් කවදා හෝ අවසන් වෙනතුරු අහිංසක නැතිබැරි කෙනාගේ දරුවට අධ්‍යාපන අවස්ථාව අහිමි කරනවද ?  

පුතාට tab එකක් අරගෙන දෙන්න තාත්තට සල්ලි නැති නිසා ඒ දරුවගේ  අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න ඉඩ හරිනවද ? ඔය ටික වෙන්න දෙන්න ආණ්ඩුවක් මොකටද ? අධ්‍යාපන අමාත්‍යාංශයක් මොකටද ?    

ගරු කතානායකතුමනි,    

අපි අපේ ආණ්ඩුව සමයේ පාසල් සිසුන්ට tab පරිගණක දෙන්න යනකොට හැසිරුණු විදිය මතකද ?  ළමයින්ට tab දෙන්න එපා පිළිකා හැදෙයි කියලා මිනිසුන්ව බය කළා. පටු බල තණ්හාව මත අනාගත පරම්පරාව උකස් තිබ්බා. නමුත් අපේ ප්‍රතිපත්තිය වුණේ ළමුන්ට අධ්‍යාපන අවස්ථා උපරිම සමීප කිරීම. මේ කරදිය වළල්ලෙන් එහා ලෝකයේ දැනුම ලබන්න, “දරුවව” ඊට සමීප කරවීම. අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වුණේ 13 වසර දක්වාම “අධ්‍යාපනය”. අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වුණේ “හැම පාසලක්ම හොඳම පාසලක්” කිරීම.    

ඒ වගේම වැදගත් කරුණක් කිවයුතුව තිබෙනවා. ඒ තමයි කොවිඩ් නිසා වහපු පාසල් විවෘත කළත් ළමයි පාසල් නොපැමිණීම. විදුහල්පතිවරු ගුරුවරු දෙයක් කිව්වාම එදා දරුවෝ ඔවුන්ව විශ්වාස කළා. දෙමාපියන් ගුරුතුමාගේ බසට ඇහුම්කන් දුන්නා.

මොනවා නැතත් ගුරුවරයා සම්බන්ධ, පාසල සම්බන්ධ විශ්වාසය තිබුණා. නමුත් මෙවර ළමයින් පාසල් එන්න මැළි වුණා. ගුරුවරුන්ගේ වචනය දෙමාපියන් විශ්වාස කලේ නෑ. මේ දේ වෙනකොට විපක්ෂයේ අපි කිව්වේ නෑ “ළමයි පාසල් යවන්න එපා – කොවිඩ් හැදෙයි ” කියලා. 

නමුත් 2018 ඒ අවාසනාවන්ත පාස්කු ප්‍රහාරයෙන් පසුව අපේ ආණ්ඩුව නැවත පාසල් විවෘත කරන්න යන විට, ළමුන්ව දෙමව්පියන්ව බය කළා. රජය පාසල් විවෘත කළත් ළමයි පාසල් ඇවිත් නෑ කියලා හිස් පන්ති කාමර පෙන්නුවා. political – media agenda අනුව එදා ආණ්ඩුව අපකීර්තියට පත්කරන්න උත්සාහ කළා. ගුරුවරුන් දෙන සහතිකය අවිශ්වාස කරන තැනට වැඩ හැදුවා. ඒ නරක වැඩේ අද ආණ්ඩුවට “පාරාවළල්ලක්” වෙලා.      

ගරු කතානායකතුමනි,

අපි බලය ගනියි, පරදියි, නැවත බලයට එයි. ඒත් ගුරු – සිසු විශ්වාසය බිඳීම ජාතික අපරාධයක්. රට බාරගන්න ඉන්න අනාගත පරම්පරාවේ අධ්‍යාපන කටයුතු ඇණහිටීම කියන්නේ ජාතික අවාසනාවක්. අපි නම් කොහොම වුනත් ඒ වගේ පහත් දේශපාලනයක් කරන්නේ නෑ. ඒ නිසා අපි කියනවා, අපේ රටටත් වඩා වසංගතයෙන් හානි වූ රටවල පවා පාසල් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදුවෙනවා.

බය නැතුව අවශ්‍ය තාක්ෂණික මෙවලම් භාවිත කරන්න. අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරගන්න එපා. ගුරුවරුන්, විදුහල්පතිවරුන් දෙන උපදෙස්, සෞඛ්‍ය අංශ දෙන උපදෙස් අනුව කටයුතු කරමින් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදුකරන්න. ඒ සඳහා දරුවන්ව යොමුකරන්න කියලා.    

ගරු කතානායකතුමනි,     

මම අවධානය යොමු කරන්නේ උසස් අධ්‍යාපනය සම්බන්ධවයි. 2018 වසරේ උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයන්  267,111ක් පෙනී සිටියා. එයින් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා 167,907ක් සුදුසුකම් ලැබුවා. ප්‍රතිශතයක් ලෙස එය 62.86% ක්. නමුත් විශ්ව විද්‍යාල සඳහා ඇතුළත්වීමට අවස්ථාව හිමිවුණේ 31,451 ක් සඳහා පමණයි. ලක්ෂ ගණනක් සිසුන්ට අවස්ථාව අහිමි වෙනවා.       

ශ්‍රී ලංකාවේ තෘතික අධ්‍යාපනයට අදාළව gross enrollment ratio, බැලුවම  1970 දී 1.01%යි. 2014 දී 21%යි.  නමුත් අපි බැලුවොත් ජපානය,1971 දී 17%යි. 2013දී 62%යි.  දකුණු කොරියාව ගතහොත්  1971 දී 7%යි. 2013 දී 95% යි.  දැන් පේනවා නේද රටක් ලෙස අපි කොතනද ඉන්නේ කියලා.      

ඊළඟට අපි බලමු ( gross expenditure on teritary education as % of GDP )  තෘතික අධ්‍යාපනය සදහා දරන දල වියදම, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසද කොපමණද කියලා.     

ලංකාවේ 2001 දී එය 0.37%යි. එය 2013 දී 0.34%යි.  නමුත් අපි ජපානය සැලකිල්ලට ගමු. ඔවුන් 1998 දී 0.41%යි. 2014දී 0.78%යි.  දකුණු කොරියාව බැලුවොත් 1998 දී 0.37යි. 2013 දී 0.86 යි. සිංගප්පුරුව 2008 දී 0.91%යි. 2013 දී 1.03% යි. මේ රටවල් එන්න එන්නම තෘතික අධ්‍යාපනය සඳහා වැඩි පංගුවක් වෙන්කරලා තිබෙනවා. නමුත් අපි එන්න එන්නම අඩු කරලා තියනවා. මම මේ දත්ත ඇතුලත් ලේඛනය සභාගත කරනවා.    

ඒ වගේම තමයි  2016 ආදායම්-වියදම් සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ higher education gross enrollment ratio  සැලකීමේදී,  බස්නාහිර සහ මධ්‍යම පළාතේ තමයි ඉහළම අගයක් පෙන්නුම් කරන්නේ. එය 18%ක්.  උතුරු මැද පළාත ගත්තාම 8%ක් , ඌව 11%ක්. පොඩි රටක් වුණත් පළාත් අනුව සැලකිය යුතු විෂමතාවයක් පෙන්වනවා.      

මේ තවත් වැදගත් කරුණක්. 2016-2017 වර්ෂයට අදාළව බස්නාහිර පළාතේ විශ්ව විද්‍යාල වලින්  undergraduate ලා , පළමු උපාධිය ලැබුවන් 60,878ක් වාර්තා වෙනවා. ඒ වසරේ සමස්ථ රටේම පළමු උපාධිය ලැබූවන් 106,404යි. ඒ කියන්නේ 57%ක ප්‍රතිශතයක් බස්නාහිර විශ්ව විද්‍යාල වලින් උපාධිය ලබලා.      

ඒ වගේම තමයි 2016-2017 පශ්චාත් උපාධිධාරීන් සමස්ථ රටේම 23,447ක් වන විට එයින් 20,010 ක් බස්නාහිර පළාත් විශ්ව විද්‍යාල වලින්. ඒ කියන්නේ 85%ක් බස්නාහිරින්. මේ වගේ දැඩි විෂමතාවක් උසස් අධ්‍යාපනයේ තිබෙනවා.    

ගරු කතානායකතුමනි,    

විශ්ව විද්‍යාල, නැත්නම් උසස් අධ්‍යාපනය සම්බන්ධව කාලයක් තිස්සේ තිබෙන බරපතල ප්‍රශ්නයක් තියනවා. ඒ quality සහ  relevance  සම්බන්ධව. අපේ උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ රැකියා අවස්ථා වෙනුවෙන් වන අදාලත්වය කොතරම්ද කියන ප්‍රශ්නය තියනවා.       

අපි දන්න දෙයක් තමයි විද්‍යා ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය ලැබුවන්ට දෙස් විදෙස් රැකියා අවස්ථා තිබෙනවා. නමුත් බහුතරය  කලා විෂය ධාරාවේ සමාජීය විද්‍යා හැදෑරු උපාධිධාරීන්. මේ අයගේ රැකියා ප්‍රශ්නයක් තිබෙනවා. රැකියාවක් සඳහා අයදුම් කිරීමේදී නිපුණතාව සම්බන්ධව ප්‍රශ්න තියෙනවා.     

සාමාන්‍ය සම්ප්‍රදාය තමයි ඔවුන්ව තොග වශයෙන් රජයේ රැකියා සඳහා එක්කර ගැනීම. නමුත් ඔවුන්ගේ වාර්ෂික රැකියා සැපයීමේ පමණක් නොවෙයි  උසස්වීම් පටිපාටියේ සිට ප්‍රශ්න රැසක් තිබෙනවා. එය නොවිසඳුණු ප්‍රශ්නයක්.      

ඇත්තටම මොරටුව විශ්ව විද්‍යාලය ගත්තොත් ලෝකයෙත් ඉහල පිළිගැනීමක් තියනවා. ඒ එහි ගුණාත්මක භාවය නිසා. ගුණාත්මකභාවය රැකගැනීම අත්‍යාවශ්‍ය කරුණක්. මගේ අදහස නම් විශ්ව විද්‍යාල වලට නිදහස තිබෙන්න ඕන ඔවුන්ගේ ගුණාත්මකභාවය රැකගැනීමට කටයුතු කරන්න.    

නමුත් අපේ රටේ එහෙම ක්‍රමයක් නෑ. තීන්දු තීරණ හැමදෙයක්ම ගන්නේ ආණ්ඩුව සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම. අදාළ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයාගේ අංකය පවා නිකුත් කරන්නේ UGC එක.     

හරි නම් විශ්ව විද්‍යාලයක් සම්බන්ධව තීන්දුවක් ගන්නා විට එහි සෙනට් සභාවේ මතය විමසන්න ඕන. නමුත් එවැන්නක් සිදුවෙන්නේ නෑ. නිවැරදි ප්‍රතිපත්තිය විය යුත්තේ විශ්ව විද්‍යාල සෙනට් සභාවට අවස්ථාව තිබෙන්න ඕන තමන්ගේ ගුණාත්මක භාවය වැඩි කරගන්න.

අපි උසස් අධ්‍යාපනය සඳහා සිසුන්ට මූල්‍ය පහසුකම් සපයන විට එය නිකුත් කලේ ආදාළ විශ්ව විද්‍යාලයට හෝ උපාධි ආයතනයට නෙවෙයි. අපි දුන්නේ සිසුවාට. ඔහු තමයි විශ්ව විද්‍යාලය තීරණය කරන්නේ. නමුත් අද සිදුවන්නේ අදාළ විශ්ව විද්‍යාලයට හෝ උපාධි ආයතනයට තමයි මුදල් නිකුත් කරන්නේ. විශ්ව විද්‍යාල අතර තරගයක් ඇති වෙන්න ඕන ගුණාත්මක බැවින් ඉහලට ගොස් සිසුන් ආකර්ෂණය කර ගන්න. ඒ ගැන ආණ්ඩුවේ අවධානය යොමුකිරීම වැදගත්.    

ගරු කතානායකතුමනි,     

විශ්ව විද්‍යාලයක තීන්දු තීරණ සම්බන්ධව වැදගත් කාර්යයක් හිමිවෙන ආයතන 2ක් තිබෙනවා. එකක් සෙනට් සභාව. එහි තමයි අධ්‍යාපන කටයුතු විභාග සහ කාලසටහන් සම්බන්ධව තීන්දු තීරණ ගන්නේ.     

අනෙක් ආයතනය කවුන්සිලය. එහි නියෝජනය සකස් වෙන්නේ, නිදර්ශනයක් ලෙස faculty හතරේ පීඨාධිපතිවරුන් 4 , කුලපති සහ උප කුලපති, සමඟ තවත් අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් 2ක් ලෙසින්. ඒ ප්‍රමාණයට එකක් වැඩිපුර, එනම් තවත් නව දෙනෙකු කවුන්සිලයට පත්කිරීමේ අවස්ථාව උසස් අධ්‍යාපන ඇමතිට තිබෙනවා. ඒ ඇමති විසින් පත්කරන පිරිසට අදාළ අවම අධ්‍යාපන සුදුසුකමක් හෝ නිර්දේශ කර නෑ. ඔන්න අපේ විශ්ව විද්‍යාල තුළ තත්වය.    

ඒ වගේම තමයි උපකුලපති පත්කිරීම. මීට පෙර තිබුණේ උප කුලපති ලෙස ඕනෑම අයෙකුට අයදුම් කරන්න පුළුවන්. තනතුර සඳහා අයදුම් කරන අය කවුන්සිලයට presentation එකක් කල යුතුයි. පසුව කවුන්සිලයේ ජන්ද විමසීමක් කරනවා. එයින් පළමු තිදෙනා ගේ නම් විෂය භාර අමාත්‍යවරයාගේ අනුදැනුම මත ජනාධිපතිට යවනවා. ජනාධිපති තමයි පත්වීම සිදුකරන්නේ.    

ගරු කතානායකතුමනි,    

වෙනසක් කරන්න කියලා 2020 මැයි නිකුත් කල චක්‍ර ලේකයක් නිකුත් කළා. ඒ මොකක්ද ? කළින් විදියම තමයි, නමුත් මෙතැන ලකුනුදීමේ පටිපාටියක් සිදුවෙනවා. වැඩිම ලකුණු ගත්ත තිදෙනාගේ නම් ඇමති දැනුවත්ව ජනාධිපතිට යවනවා. ජනාධිපති කෙනෙක්ව නම් කරනවා. මෙතන වෙනස අර ලකුණු දීමේ පටිපාටිය.    

ආණ්ඩුව දැන් වෙනසක් කළා කියන නිසා මම අහනවා, වැඩිම ලකුණු ගත්ත අයද දැන් විශ්ව විද්‍යාල වල උප කුලපති කර තිබෙන්නේ ? ජනාධිපතිට නම් තුන යවනකොට ලකුණුත් යැව්වද ? ඉල්ලුම් කල පාර්ශව අතරින් ඉහලම ලකුණු ගත්ත කෙනා නම් උප කුලපති කරන්නේ, නම් 3ක් යවන්නේ මොකටද ? කියලා.    

වෙනසක් කිව්වට කිසිම වෙනසක් නෑ. මේ නිසා තමයි විශ්ව විද්‍යාල ස්වාධීන ආයතන ලෙස වර්ධනය නොවන්නේ. එකතැන පල්වෙන ස්වභාවයක් තියෙන්නේ. ගුණාත්මකභාවය අඩුවෙලා පිළිගැනීම නැතිවෙලා තියෙන්නේ.    

දැන් 2021 අයවැය යෝජනා අතර තිබෙනවා නගර විශ්වවිද්‍යාල city university 4 ක් ඇතිකරන්න. ඒ හරහා කළුතර, අම්පාර, පුත්තලම, නුවරඑළිය දිස්ත්‍රික්ක වෙත විශ්ව විද්‍යාල 4ක් හදන්න රුපියල් මිලියන 1000ක් වෙන්කර තිබෙනවා. එක විශ්ව විද්‍යාලයක් ආණ්ඩුව හදන්න යන්නේ රුපියල් මිලියන 250 කින්ද ? නවීන තත්වයන්ට ගැලපෙන විශ්ව විද්‍යාලයක් හදන්න පුළුවන්ද රුපියල් මිලියන 250 කින් ?    

විශ්ව විද්‍යාලයක් කියන්නේ ගොඩනැගිලි නෙවෙයි. භෞතික වගේම දියුණු මානව සම්පතක් ඊට දායක කළ යුතුයි.     අපි පිලිගන්නවා අධ්‍යාපනය සැපයීමේ අවස්ථා පුළුල් කරන්න ඕන. ඒ සඳහා විශ්ව විද්‍යාල වැඩිපුර අවශ්‍යයි.  ඒක පැහැදිළි අභියෝගයක්.  තනියම රජයකට කරන්න බෑ. දැන් ලෝකයේ ඉහල පිළිගැනීමක් ඇති විශ්ව විද්‍යාල අරගෙන බලන්න. ඒවා ඒ ඒ රටවල රජයේ විශ්ව විද්‍යාල පමණක්  නෙවෙයි. පෞද්ගලික සමාගම් සතු ඒවත් නෙවෙයි, රජයෙන් ස්වාධීන ලාභ කොටස් කරුවන්ට නොබෙදෙන, non profit විශ්ව විද්‍යාලයක්. trust එකක් හරහා තමයි ඒවා පාලනය වෙන්නේ. අපි ඒ ගැනත් සලකා බලන්න ඕන.     රාජ්‍ය – පෞද්ගලික කියලා බෙදීම නෙවෙයි වැදගත්.

අධ්‍යාපනයේ ගුණාත්මක භාවය රැකගෙන අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමයි විය යුත්තේ. කෝ ——–ඇමතිතුමා ඉන්නවද ? ප්‍රශ්නයක් තියනවා අහන්න. දැන් ඔබතුමා ගියේ පෞද්ගලික පාසලකට. මම ගියේ රජයේ පාසලකට. ඔබ පෞද්ගලික පාසලකට ගියා කියා මොකුත් අඩුවක් වුණාද ?  නිදහසේ පියා රටේ පළමු අග්‍රාමාත්‍යවරයා DS සේනානායක, අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක, අධ්‍යාපනය ලැබුවේ පෞද්ගලික පාසලක. මොකුත් අඩුවක් වුණාද ? නෑ නේද ?       

දැන් ප්‍රශ්නයක් තියනවා අහන්න. මොකක්ද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. සයිටම් ගෙනාවේ අපි නෙවෙයි, මහින්ද රාජපක්ෂ රජය. සයිටම් වහන්න කියලා පාරට බැස්සෙත් ඒ පාර්ශවයම. එස්.බී ඇමතිතුමා සාක්ෂිදරයි. අපිට දැන් ආණ්ඩුවෙන් අහන්න වෙනවා ඔබලා තවදුරටත් දරුවන් පාවාදෙනවද කියලා.     

ලංකාවේ අනාගතය තිබෙන්නේ දැනුම් ආර්ථිකයක් තුළ. අපි දැක්කේ නෑ අයවැය තුල දැනුම් ආර්ථිකයක්, අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් ගොඩනැගීම සම්බන්ධව කිසිවක් නෑ. මට පෙන්නේ මෙහි වටිනාකම ආණ්ඩුව තේරුම් අරගෙන නෑ.    ඒ නිසා අධ්‍යාපනය සම්බන්ධ විෂයේදී සරල, ලාභ පහසු දේ කරන්නන් වාලේ කිරීම නෙවෙයි වැදගත්. හොඳම දේ, හොඳම ප්‍රතිපත්තිය, ක්‍රියාවට නැංවීමයි වැදගත්.     

ජනාධිපතිතුමා, අගමැතිතුමා, වගේම අපි ඕන කෙනෙක් තමන්ගේ දරුවට දෙන්න කැමති, හොඳම දේ නේද ?  අන්න ඒ නිසා අධ්‍යාපනය විෂයේ හොදම දේ, රටේම දරුවන්ට දීමයි සිදුකල යුත්තේ. රටේ දරුවන්ට අධ්‍යාපන සහතික දෙස බලා හඬාවැටෙන්න සිදුවන අනාගතයක් නම් එපා.
Loading...

RSL

Related Posts