කොවිඩ්-19 එක්ක එන මානසික ගැටලු – ඔබ මේ කරුණු දැන සිටියා ද ?

චතුරි සුරවීර විශේෂඥ මනෝ වෛද්‍ය ජාතික රෝහල කොළඹ (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොළඹ වෛද්‍ය පීඨය)

කොවිඩ් -19 වසංගතය මහජනතාවට, සෞඛ්‍ය අංශවලට සේම ඒ සම්බන්ධ පර්යේෂණ සිදුකරන්නන්ට ද අලුත් රෝග තත්ත්වයකි. මේ වන විටත් අපි ඒ රෝගයේ ස්වභාවය පිළිබද ඉගෙන ගනිමින් සිටිමු.

මින් පෙරත් ලෝකයේ මෙවැනි වසංගත තත්ත්වයන් ව්‍යාප්ත වූ නමුත් ඒවායෙන් ශ්‍රී ලංකාවට ඒ හැටි බලපෑමක් එල්ල නොවිණි. මෙහිදී අප සියලු දෙනා වටා ඇත්තේ දැඩි අවිනිශ්චිත භාවයකි. සියල්ල අපගේ පාලනය යටතේ පැවතීම අප අපේක්ෂා කරනමුත් කොවිඩ් ඇත්තේ අපේ පාලනය යටතේ නොවේ. එබැවින් මෙම රෝගය හේතුවෙන් මේ අවස්ථාවේදී බොහෝ දෙනා ආතති තත්ත්වයන්ට පත්විය හැක.   

තවත් අතෙකින් මේ තත්ත්වය යටතේ පැනවෙන ඇඳිරි නීතිය, හුදෙකලා කිරීම් වැනි ක්‍රියාදාමයන් හේතු කරගෙන ද පුද්ගලයින්ට මානසික ආතතීන් ඇති වේ. කෑමබීම සපයාගැනීම, වැටුප් ලබාගැනීම, ප්‍රවාහන ගැටලු මුල්කරගනිමින් එවැනි තත්ත්වයන් යටතේ බොහෝ මිනිසුන් ආතතියට පත්වීම සුලබව දැකිය හැකි ය.  

කොවිඩ් -19 අපගේ සුපුරුදු ජීවන රටාව උඩුයටිකුරු කොට ඇත. මින්පෙර බොහෝ දෙනා ගත කළේ අතිශය කාර්යබහුල ජීවිතයකි. මුදල් පසුබස හඹායෑමේදී වැඩි කාලයක් ගත කිරීමට සිදු වූයේ රැකියාව හෝ ව්‍යාපාරය වෙනුවෙනි. නිවසේ රැඳී සිටීමට ඉඩ ලැබුණේ ඉතා කෙටි කාලයකි. එයින් ද පැය දෙක තුනකට වැඩියෙන් නිවැසියන් හා ගත කිරීමට අවස්ථාවක් නොවිණි. ඒ වෙනුවට කොවිඩ් අපව නිවෙසටම කොටු කර ඇති වාතාවරණයක් යටතේ බොහෝ පවුල්වල සියලුම සාමාජිකයින් දවසේ පැය 24 ම නිවසේ ය. ඒ අනුව පුද්ගලයින් නිවෙසටම හිරවීම තුළ එකිනෙකා අතර ගට්ටන වැඩී වී ඇති බවක් ද පෙනෙන්නට තිබේ.

නිවසේ සිට රාජකාරී කිරීමේ පිළිවෙතක් ක්‍රියාත්මක වූවද බොහෝ විට කාන්තාවන්ට නිවසේ සිට රාජකාරී කිරීම අපහසු ය. නිවසේ සිටියදී දරුවන්ගේ කටයුතු ඉවුම්පිහුම්, අනෙකුත් වැඩ අතරතුර රාජකාරිය ද පටලවා ගැනීමට සිදුවීම තුළ මානසික ගැටලු මතු වූ අවස්ථා බහුල ය. එසේ ම Work From home  ක්‍රමවේදයේදී මින් පෙර පැය අටේ රැකියාව කළ ඇතැම් පුද්ගලයින්ට කොවිඩ් -19 වසංගත තත්ත්වය තුළ නිවෙසට වී රාජකාරිය වෙලාවක් කලාවක් නැතිවම සිදු කරන්නට විය.  

මේ වකවානුව තුළ මාර්ගගත අධ්‍යාපනය ද මානසික ගැටලු ඇති කිරීමට බලපෑ තවත් කාරණයකි. කොවිඩ් -19 ව්‍යාප්තියට මත්තෙන් දරුවන් දිනකට පැය දෙක තුනක් පාඩම් කළේ පාසලේ ඉගෙනුම් කටයුතු, අමතර පංතිවලට සහභාගී වීම වැනි ක්‍රියාදාමයක් තුළ ය.

මේ වන විට දරුවන් පැය 24 ම නිවසේ රැඳෙන බැවින් ඇතැම් දෙමාපියන් අපේක්ෂා කරන්නේ දරුවන් පැය 24 ම අධ්‍යාපන කටයුතුවලට යොමු විය යුතු බව ය. එය දරුවන්ට එක්තරා අන්දමකින් මානසික පීඩනයක් ගෙනදෙන්නක් විය. එසේ ම ඒ සමඟ ම බොහෝ දරුවන් පරිගණකයට, දුරකථනයට දැඩි ලෙස ඇබ්බැහි වීමේ ගැටලු ද පැනනැඟිණි.

දෙමාපියන් දරුවන්ට පරිගණකයෙන්, දුරකථනයෙන් ඈත්වීමට බල කළ ද ඒ වෙනුවනට තෝරාගත හැකි විකල්පයන් ලබා නොදීම ද ළමා මනසට දැඩි සේ බලපෑම් එල්ල කරයි. එළිමහනේ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොමැති වීම මාපියන් සමඟ අදහස් බෙදාගැනීමට ඉඩක් නොමැති වීම තුළ නිවෙසට ම කොටු වී සිටින දරුවන් යම් යම් මානසික ගැටලුවලට ලක්වීම ද මේ වකවානුව තුළ වැඩි වශයෙන් හඳුනාගත හැකි ය.  

එක අතෙකින් බාහිර සමාජයේ සියලු දෙනා ආසාදිතයන් බව සිතමින් සමාජ දුරස්ථ භාවය පවත්වාගනිමින් අප  ප්‍රවේශම් වීම වැදගත් ය. තවත් අතෙකින් එහිදී සිදු වන්නේ සෑම පුද්ගලයකු තුළ ම විශාල සැකයක් ඇති කිරීම ය. සෞඛ්‍ය සේවකයින්, ආරක්ෂක අංශවල සේවකයින්, ඇඟළුම් සේවක සේවිකාවන්, මත්ස්‍ය වෙළෙන්දන් ආදී නොයෙකුත් කණ්ඩායම්වල පුද්ගලයන් දෙස “මේ සිටින්නේ ආසාදිතයකු විය හැකි ය” යන සැකයත් සමඟ බැලීම තුළම ඇතැම් පිරිස් එම පුද්ගලයන් කොන් කිරීමට ද කටයුතු කළ බවක් පෙනෙන්නට විය. එය ද යම් යම් පුද්ගලයන් තුළ මානසික ආතතිය වැඩිකරලීමට හේතුවකි.  

මීට අමතරව දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝගවලින් පීඩා විඳින්නන් මේ දිනවල වැඩි වශයෙන් ආතතියට ලක්වී ඇත්තේ එම පුද්ගලයන්ට කොවිඩ් -19 ආසාදනය වීමේ වැඩි ඉඩක් පවතින බවත් එසේ ආසාදනය වුවහොත් සිදුවන බලපෑම වැඩි බවත් හඳුනාගෙන තිබෙන බැවිනි. මේ සමඟ ඇති වෙන මානසික පීඩනය හේතුවෙන්  එම රෝගවල උත්සන්න වීමක් ද දැකිය හැකි ය.

එසේ ම එවැනි රෝගීන්ට මේ අවස්ථාවේ ඖෂධ ලබාගැනීමට, වෛද්‍යවරුන් මුණගැසීමට ඇති අපහසුතා මෙන් ම රෝගය කෙතරම් උත්සන්න වුව ද කොවිඩ් -19ට බියෙන් ප්‍රතිකාර සඳහා නිවෙසින් බැහැරට නොයා සිටීම තුළ කොවිඩ් -19 ආසාදනය වීමෙන් මෙන්ම වෙනත් රෝග හේතුවෙන්ද වාර්තා වන මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් සිදු වී තිබේ.සාමාන්‍යයෙන් මෙවැනි ආතතිකාරී තත්ත්වයන් හමුවේදී මානසික රෝගවලට මින් පෙර ගොදුරු වී සිටි පුද්ගලයන්ගේ රෝග තත්ත්වයන් උත්සන්න වීමේ ප්‍රවණතාවක් ද ඇත. ඒ අනුව විශේෂයෙන් ම විශාදයෙන්, කාන්සා රෝග තත්ත්වයන්ගෙන් පෙළෙමින් සිටි අයගේ එම රෝග තත්ත්වයන් උත්සන්න විය හැකි ය.

කොවිඩ්-19 වෛරසයේ ගොදුරක් බවට පත් නොවී සිටීමට නිරන්තරයෙන් දෑත් හොඳින් සබන් යොදා සෝදන ලෙසට අපට උපදෙස් ලැබේ. එහෙත් නිතර වැඩිපුර අත හේදීම වැනි තත්ත්වයන් ද ඇතැම් මානසික රෝගයන්ගේ (ග්‍රස්ථිය ) රෝග ලක්ෂණ ය. එවිට එවැනි මානසික රෝග ද උත්සන්න විය හැකි ය. එසේම ඇතැම් මානසික රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නන් කොවිඩ් -19 වාතාවරණය යටතේ නිසි ලෙස ප්‍රතිකාර සඳහා යොමු නොවීම, ඖෂධ ක්‍රමානුකූලව භාවිතා නොකිරීම හේතුවෙන් රෝග තත්ත්වයන් උත්සන්න වී ඇති බවක් ද පෙනෙන්නට තිබේ.

මේ සමගම සියදිවි හානිකර ගැනීම්වලට ද විවර වූයේ වැඩි ඉඩකඩකි.  උද්ගත ව ඇති තත්ත්වය පිළිබඳ හරිහැටි නොදැන සිටීම ද පුද්ගලයින් අවශ්‍ය ලෙස පීඩාවට පත්කිරීමට හේතුවකි. ඇතැම්විට නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙන යන අයුරු, නිරෝධායනය කෙරෙන අයුරු ආදි සියලු දේ සමාජ මාධ්‍යය ද ඇතුළුව ඇතැම් මාධ්‍යවලින් පෙන්වාදුන්නේ බිය උපදවනසුලු අන්දමෙනි.

එයාකාරයෙන් ජනතාවට සියල්ල විවර නොකිරීම තුළින් ඇතැම්විට ඔවුන් මෙම රෝගය සුළුකොට තකා අනාරක්ෂිත ව සිටීමෙන්, රෝගයේ පැතිරීම පාලනය කරගත නොහැකි තත්ත්වයක් ඇති වන්නා සේ ම සියල්ල නිරන්තරයෙන් හෙළිදරව් කිරීම තුළ ද අනවශ්‍ය බියකින්, මානසික පීඩනයකින් ජනතාව පෙළෙන්නට ඉඩ ඇත. පසුගිය දිනවල ඇතැම් රටවල මිනී කඳුගැසෙන ආකාරය අපි මාධ්‍ය ඔස්සේ දැකගත්තෙමු.

මෙරට තත්ත්වය එතරම් බරපතල නොවුණ ද ඇතැමුන් දැඩි සේ බියට පත්ව සිටිනුයේ අපට ද එවැනි ම ඉරණමක් අත්වන බව සිතමිනි. එකම සිදුවීම වුව සියල්ලන් දරාගන්නේ එක ම ආකාරයකින් නොවේ. මේ සමඟ ඇතැම් පිරිස් නිරෝධායනයෙන් පලා යන්නට ද සියදිවි නසාගන්නට ද පෙළඹී ඇත්තේ ඔවුන් මේ තත්ත්වය දකින භයානක ආකාරය අනුව ය. එබැවින් මෙහිදී ජනතාව දැනුවත් කිරීම ද සිදු විය යුත්තේ සමබරව ය. 

එසේම තොරතුරු දැනගැනීමේදී පුද්ගලයින් විසින් එක් විශ්වාසදායි මාධ්‍යයක් තෝරාගැනීම ද දිනකට වරක් දෙවරක් පමණක් පුවත් විකාශනයන්ට යොමු වීම ද මෙහිදී වැදගත් ය. මන්ද සෑම මාධ්‍යයකින්ම විකාශය කරන ප්‍රවෘත්තිවලට නිරන්තරයෙන් අවධානය යොමු කිරීම ද අනවශ්‍ය බියක්, චකිතයක් ඇති කරවිය හැකි ය. එකම සිදුවීම එක් එක් මාධ්‍යවලින් ලබාදෙන්නේ එක් එක් ආකාරයට ය.

කෙසේ වෙතත් අවශ්‍ය ම කරුණු සම්බන්ධයෙන් අප තුළ වන නොදැනුවත් භාවය තුළ තමාටත් අනෙකාටත් අසාධාරණයක් සිදු වන බව ද සිහි තබාගත යුතු ය.   නිරන්තරයෙන් ඒකාකාරී ජීවන රටාවක් ගතකළ කාටත් අමතක වූ කාරණයක් වූයේ ඒ සියල්ල නැතිවුවහොත් ජීවිතය ගෙවන්නේ කෙසේද? යන්න ය. නොනවත්වා යන්ත්‍ර මෙන් වැඩ කළ ඇතැමුන් සිය විනෝදාංශවලින්, රසවින්දනයෙන්, ව්‍යායාම, භාවනා ආදියෙන්, ආගමික වතාවත් ආදියෙන් මෙන් ම ප්‍රියයන්ගෙන් බොහෝ දුරස්ථ ය. රැකියාව සහ මුදල් පසුපසම හඹායෑම වෙනුවට ජීවිතය සමබර ව පවත්වාගෙන යෑමේ වටිනාකම කොවිඩ් -19 මේ වන විටත් පෙන්වා දී හමාර ය.

ජීවිතය සමබර ව පවත්වාගෙන යෑමට යම්තරමින් හෝ පුරුදුපුහුණු වී සිටි පුද්ගලයන්ට නිවෙසට වී ගත කරන මේ කාලය අනවශ්‍ය පීඩනයක් ගෙනදුන්නේ නැති අතර ඔවුන් නිවසේ වැඩ කටයුතු ද නිසි ලෙස පාලනය කරමින්, පොත් පත් කියවමින්, රසවින්දන වැඩසටහන් නරඹමින්, ගෘහස්ත ක්‍රිඩාවල නිරත වෙමින්, ගෙවතු අලංකරණය, වගා කටයුතු, ව්‍යායාම්වල නියැලෙමින්, රසවත් ආහාරපාන අත්හදා බලමින් නිවැසියන් හා සතුටින් කල් ගෙවීය. අප සෑම දෙයක් දෙසම ඍණාත්මකව ම සිතිය යුතු නැත.

ධනාත්මක චින්තනය තුළ ද අත්කරගත හැකි වාසි රැසකි.එතුළ එක අතෙකින් ආතතිය අවම කරගත හැක. කොවිඩ් වසංගතතය හේතුවෙන් නිවෙසට වී සිටීමත් සමඟ නිවැසියන් හා ගත කළ හැකි කාලය වැඩිකරගැනීමට, මාපිය දූදරු සබඳතා වැඩි දියුණු කරගැනීමට, තම තමන්ගේ විනෝදාංශ සඳහා යොමු වීමට, විවේකීව සිටීමට මෙන්ම නිදහසේ සිතන්නට සියලු දෙනාට ඉඩහසර විවර වී ඇත.එපමණක් නොව පෙර නොවූ තරමින් අප මේ වකවානුව තුළ තාක්ෂණයට හා දියුණු ක්‍රමවේදයන්ට හුරු වෙමින් සිටීම ද යහපත් ප්‍රවණතාවකි.

මාර්ගගත අධ්‍යාපනය,වීඩියෝ මාර්ගයෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීම, ලිපි වෙනුවට වැඩිවැඩියෙන් විද්‍යුත් තැපෑලට යොමු වීම, ඖෂධ සහ අත්‍යවශ්‍යය ද්‍රව්‍ය නිවෙසටම ගෙන්වා ගැනීම එහිලා පෙන්වාදිය හැකි උදාහරණ කිහිපයක් පමණි. එය වූකලී මෙම වසංගත තත්ත්වය පිළිබඳ නිරන්තරයෙන් නැඟෙන ඍණාත්මක සිතුවිලි තරමක් දුරට හෝ මැඩපවත්වා ගනිමින් ඉදිරියට යෑමට හේතුවක් නොවේද?කෙසේ වෙතත් මේ දිනවල සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් සහ ආරක්ෂාව වෙනුවෙන් යොදා ඇති නීති අකුරටම පිළිපැදිය යුතු ය. එසේ සිදු කරන්නේ නම් මානසික රෝග ඇති කරවන තරමට බිය සැක උපදවා ගත යුතු වන්නේ නැත.

විශේෂයෙන් ම දරුවන් සමඟ ගනුදෙනු කිරීමේදී මේ කාලය තුළ පෙරටත් වැඩියෙන් ප්‍රවේශම් විය යුතු අතර ඔවුන් වෙත අනවශ්‍ය මානසික පීඩනයක් ලබානොදීමට වැඩිහිටියන් වගබලා ගත යුතු ම ය.  නිවසේ රැඳී සිටින්නන් මේ දිනවල සිය දිවාරාත්‍රී චක්‍රය දැඩි වෙනසකට ලක් කරමින් මධ්‍යම රාත්‍රී 12, 01 වන තුරු නිදි වරා පසු දා උදෑසන 10, 11 වන තුරු නින්දේ සිටීම නම් සෞඛ්‍යයට එතරම් හිතකර නොවේ.

එසේ ම මේ වකවානුව තුළ ඇති වන මානසික ආතතිය පිට දමන්නට මතට හා දුමට හුරුවීමට කිසිසේත්ම නොකළ යුත්තකි. විශේෂයෙන් ම දුම් පානය කරන්නන්ට කොවිඩ් -19 ආසාදනය වීමට වැඩි ඉඩක් ඇති අතර ආසානය වීමෙන් පසු සංකූලතා ඇතිවීමේ ඉඩකඩ ද ඉතා වැඩි ය. එසේ ම බෙදාගෙන එකම දුම්වැටිය ඉරීම රෝගය වේගයෙන් පතුරවන්නට හේතුවේ. මත්පැන් පානය ඔබට ප්‍රවේශම අමතක කරවයි. මේ, දුම්වැටියට සහ මතට තිත තැබීමට හොඳම අවස්ථාවකි. 

මෙම වසංත තත්ත්වය තුළ ප්‍රියයන්ගෙන් වෙන්වී සිටීමට සිදු වීම දරාගත නොහැකි වීම තුළ ද ඇතැම් පුද්ගලයන් තුළ යම් යම් මානසික ගැටලු ඇතිවීමක් දක්නට ලැබිණි. එවැනි අවස්ථාවලදී ද විශාද සහ කාන්සා රෝග තත්ත්වයන් ඇති විය හැකි ය. මින් පෙර පැවැති මානසික රෝග උත්සන්න වීමේ හැකියාව ද වැඩි ය. මානසික රෝගියෙකු යන ලේබලය ලබාදිය නොහැකි වුවද ඇතැම් පුද්ගලයන්ට වෙනදාට වැඩියෙන් තරහව, දුක, බිය, සැක ඇතිවීම වැනි මානසික ගැටලු ද ඇතිවිය හැකි ය.

මේ අතරින් ඇතැම් මානසික ගැටලු ඉබේම පහව යා හැකි නමුත් ඇතැම් ඒවා සියදිවි නසා ගැනීමට පෙළඹීම දක්වා වුව ද උග්‍ර අතට හැරෙන්නට ඉඩකඩ පවතී. එබැවින් තම සමීපතමයින් පිළිබඳ සැලකිලිමත් වන්න. ඔවුන්ගේ පැහැදිලි වෙනස්කම් පිළිබඳ නොකතා සිටීම, ඔවුන් ඔබෙන් සදහට ම ඈත් කරවීමට හේතුවක් විය හැකි ය. 

තමාට හෝ සමීපතමයකුට යම් මානසික ගැටලුවක් පවතින්නේ නම් එය ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක්ද? නැද්ද? යන්න තනිව තීරණය නොකරන්න. වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න. එහිදී අවශ්‍ය නම් ඔබව හෝ ඔබේ සමීපතමයාව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කෙරෙනු ඇත. මේ සම්බන්ධයෙන් මනෝ වෛද්‍යවරුන්ගේ සංගමයේ වෙබ් අඩවිය ද උපකාරකොට ගත හැකි ය.

එසේ ම 1926 අංකය ඔස්සේ ජාතික මානසික රෝග විද්‍යායතනය හා සම්බන්ධ වීමෙන් ඔබට ඇති යම් යම් මානසික ගැටලු සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමේ අවස්ථාව උදා වේ. තව ද සාමාන්‍යයෙන් ඔබට නින්ද නොයයි නම්, ආහාර ගන්නා ප්‍රමාණයේ වැඩිවීමක් හෝ අඩුවීමක් සිදු වී ඇත්නම්, හිතට වෙනදාට වැඩියෙන් දුක දැනෙවා නම්, තරහා ඇතිවන්නේ නම්, ඇඟට පණ නැති බවක් දැනෙන්නේ නම්, නිතර බියෙන් සිටිනවා නම්, “මැරෙන්න ඕනෙ, මැරිලා ගියා නම් හොඳයි” වැනි සිතුවිලි පහල වේ නම්, එය කුමන හෝ මානසික රෝගයක ලක්ෂණ විය හැකි ය.

එබැවින් එවැනි තත්ත්වයන් හමුවේ ඉක්මනින් ළඟම සිටින වෛද්‍යවරයෙකු හෝ මනෝ වෛද්‍යවරයකු වෙත යොමු වන්න. මන්ද මේ රෝග තත්ත්වයන් ඖෂධවලින් සහ මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රමවලින් පාලනය කරගත හැකි ය.    

චතුරි සුරවීර විශේෂඥ මොනෝ වෛද්‍ය ජාතික රෝහල කොළඹ (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොළඹ වෛද්‍ය පීඨය)

සටහන – කාංචනා සිරිවර්ධන

Loading...

RSL

Related Posts