කෘෂිකර්ම ඇමති රටට දුන් සහතිකය

Spread the love

වී අලෙවි මණ්ඩලය හරහා රජයට මහ කන්නයේ වී මෙට්‍රීක්ටොන් ලක්ෂ 3ක් මිලට ගැනීමේ ජාතික වැඩසටහන අද (12) ආරම්භ වුණා. අම්පාර අක්කරෙයිපත්තුව වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ,රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි වැඩපිළිවෙල ආරම්භ කෙරුණේ.

සම්බා වියළි වී කිලෝවක් රුපියල් 52 ක් හා නාඩු වියළි වී කිලෝවක් රු.50ක් සහතික මිලට රජය මිලට ගැනීමට මේ යටතේ පියවර ගෙන තිබෙනවා.දිවයින පුරා මහ කන්නයේ හෙක්ටයාරයකට වඩා වගා කොට ඇති,පොහොර සහනාධාරය ලබන සියලු ගොවීන්ගෙන් වී මිලට ගැනීම සැලසුමයි.ඒ අනුව හෙක්ටයාරයකින් වී කිලෝ 1000 ක් වී අලෙවි මණ්ඩලයට ලබාදිය යුතුයි.

ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුව, වී අලෙවි මණ්ඩලය හා රාජ්‍ය ආයතන 9ක් එකට සම්බන්ධීකරණයෙන් වී මිලට ගැනීමෙනි ජාතික ක්‍රියාන්විතය ක්‍රියාත්මක කෙරෙනවා.මේ වන විට අම්පාර හා මොණරාගල දිස්ත්‍රික්කවල වී අස්වනු නෙලීම ආරම්භ වී තිබෙනවා.ඉදිරි මාසය තුළ දිවයින පුරා වී අස්වනු නෙලීම සිදුවන අතර,ඒ සඳහා දිවයිනම ආවරණය වන වැඩපිළිවෙලක් කෘෂිකර්ම අමාත්‍යාංශය ක්‍රියාවට නංවා තිබෙනවා.

වී මිලදී ගැනීමේ  ජාතික වැඩපිළිවෙල කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් මඟින් සිදුකෙරෙන අතර, ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුවේ සහකාර කොමසාරිස්වරුන් හා වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරුවන්ගේ සෘජු අධීක්ෂණය යටතේ එම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.තෙත වී මිලට ගැනීමට ද මේ යටතේ අවශ්‍ය කටයුතු සිදු කර ඇති අතර, මේ සඳහා ඇසුරුම් රජය මඟින් ගොවියාගේ අතටම ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

වී මිලට ගැනීමේ ජාතික වැඩසටහන ආරම්භ කරමින් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා – “ කොවිඩ් නිසා අක්කරෙයිපත්තුවට යන්න එපා කියලත් අපිට කිව්වා. ඒත් ගොවියා උනන්දු කිරීම ධෛර්ය ඇති කිරීම වගේම ගොවියාට කරන ගෞරවයක් විදිහට අද අපි අක්කරෙයිපත්තුවට ඒ අභියෝග පසෙක දාලා ආවා. රටේම සිටින සමස්ථ ගොවීන්ගෙන් අපි ඉල්ලනවා මේ ජාතික වැඩපිළිවෙලට දායක වන ලෙස. වියළි වී විතරක් නෙවෙයි, තෙත වී ගන්නත් අපි පියවර ගෙන තිබෙනවා.

පසුගිය ආණ්ඩුව කාලේ රු.32 ටත් ගොවියාට වී විකුණාගන්න බැරිවුණා. අපි වියළි සම්බා රු.52ටත් නාඩු වියළි වී කිලෝවක් රු.50ටත් මිලට ගන්න සහතික මිලක් දීලා තියෙනවා. රජය සතු වී සංචිතයක් තුළින් සහල් මාෆියාවට පිළිතුරු දීම අපේ අරමුණයි. රජයක් විදිහට ගොවියා වගේම පාරිභෝගිකයා ආරක්ෂා කිරීම අපේ වගකීමයි. අපි ඉටුකරන්නේ ඒ වගකීම. ගොවියත් එක්ක ඉන්නේ අපි.

ගොවියාගේ දුකේදි පිහිට වෙන්නේ අපි. ගැටළු විසදන්නේ අපි. ඒ නිසා අධික ලාභ ලබන මුදලාලි තුන් හතරදෙනෙකුට අවශ්‍ය පරිදි හාල් මිල පාලනයට ඉඩ දෙන්න බෑ. මම විශ්වාස කරනවා මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක් නෙවෙයි ගබඩා මදිවන තරමට අපිට ගොවියා වී ලබා දෙයි කියලා. කොවිඩ් හෝ ඉදිරියේ එන ඕනෑම අභියෝගයකට මුහුණ දිලා ජනතාවට කන්න දෙන්න අපේ රජය සූදානම්. ඒ සඳහායි මේ සංචිතය අපි පවත්වාගෙන යන්නේ. අපි පොහොර දෙනවා, වතුර ටික දෙනවා, බීජ ටික දෙනවා, සහතික මිලට වී මිලට ගන්නවා.ඒ නිසා අපිත් එක්ක අත්වැල් බැදගෙන ජාතිය වෙනුවෙන් යුතුකම ඉටු කරන ලෙස සෑම ගොවියෙකුගෙන්ම මම ඉල්ලනවා.”

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා “ රාජ්‍ය ආයතන ගණනාවක් 9කට වැඩි ගණනක් එකතුවෙන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. මාස දෙකක් සාකච්ඡා වට ගණනාවක් පවත්වලා අපි මෙතනට මේ ජාතික වැඩපිළිවෙල ගෙනාවේ. වී මිලට ගැනීමෙන් අපි නතර වෙන්නේ නෑ. වී ටික හාල් කරලා සතොස හා සමූපකාර ජාලය හරහා සාධාරණ මිලට හාල් දෙන්නත් අපි සැලසුම් කරලා ඉවරයි. මේ ජාතික වැඩපිළිවෙල සාර්ථක කර ගන්න ජනාධිපතිතුමා දුන්න සහය අති මහත්. රජයකින් ජනතාවට ඉටු විය යුතු යුතුකම අපි ඉටුකරන්නේ. වී මිලට ගැනීම වගේම සහල් සාධාරණ මිලට ලබාදීම වගේම පොහොර සහනාධාරය ක්‍රමානුකූල කිරීමත් මේ ජාතික වැඩපිළිවෙළින් අපි කරනවා. රටට කන්න දෙන මහා වගකීම ඉටු කරන්නේ මේ රටේ ගොවියා. ගොවියත් පාරිබෝගිකයත්  ආරක්ෂා කිරීම අපේ මේ ජාතික ක්‍රියාන්විතයේ අරමුණයි. ”

මෙවර මහකන්නයේ හෙක්ටයාර හය ලක්ෂ හැට අටදහස් හාරසියයක් දිවයින පුරා කුඹුරු වගා කොට ඇත. අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ විසි අටකි. එයින් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් රජයට මිලට ගැනීම මෙම වැඩපිළිවෙල තුළ සිදු කෙරේ. වී ගබඩා කිරීමට අවශ්‍ය සියලු ගබඩා යුධ හමුදාවේ ද සහය ඇතිව ප්‍රතිසංස්කරණය කොට අවසන්ව ඇත. ගොවිජනතාවට කිසිදු අපහසුතාවක් ඇති නොවන පරිදි මෙන්ම කිසිදු අසාධාරණයක් නොවන පරිදි වී මිලට ගැනීමේ ජාතික වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකව ක්‍රියාකර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්, අම්පාර දිස්ත්‍රික් ලේකම්, වී අලෙවි මණ්ඩලයේ සභාපති ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද සමාරම්භග අවස්ථාවට එක්වුහ.

RSL

Related Posts