කෘෂිකර්මාන්තයට වළ කපන මාෆියා 05ක් ගැන ඇමැති කළ හෙළිදරව්ව !

Spread the love

ආනයන ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන රටට හිතැති ගමනට බාධා කරන මාෆියාවන් 5ක් කෘෂිකර්මය තුළ ක්‍රියාත්මක බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

වී,සහල්, එළවළු, බීජ, පොහොර යන මෙම මහා පරිමාණ මාෆියාවන් ගෙන් මෙරට කෘෂිකර්මාන්තයේ අනාගතය මුළුමනින්ම විනාශ වෙමින් තිබෙන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා නිෂ්පාදනයට වඩා ආහාර ආනයනයට උන්නදු කරවන පිරිසක් සිටින බව ද සදහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සදහන් කළේ පසුගිය 04 වැනිදා බතලේගොඩ වී පර්යේණ ආයතනයේ පැවති කෘෂිකර්ම උපදේශකවරුන් පුහුණු කිරීමේ වැඩමුළුවේදීය.

වසර ගණනක් සිදුනොවුණු නිලධාරීන් දැනුමෙන් හා තාක්ෂණයෙන් සන්නද්ධ කරන දීපව්‍යාප්ත පුහුණු වැඩමුළු මාලාව ස්ථාන 05කදී පසුගිය 04 වැනිදා ආරම්භ විය.

බතලේගොඩ , අඟුණුකොළපැළැස්ස, පුලියන්කුලම, මහඉලුක්පල්ලම, බිදුණුවැව යන කෘෂි පුහුණු පාසල්වලදී පුහුණු වැඩමුළු ආරම්භ කෙරිණි.

එක් මධ්‍යස්ථානයක කෘෂි උපදේශකවරුන්  250 බැගින් දිවයිනම ආවරණය වන පරිදි 1000ක් පළමු අදියර යටතේ පුහුණු කෙරේ. ගොවිජන සේවා නිලධාරීන් 600ක්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් 9000ක් තවත් අදියර ‍දෙකකින් මෙම පුහුණුවට යොමු කිරීමට සැලසුම් කර තිබේ. එක් කණ්ඩායමකට දින 25ක නේවාසික පුහුණු වැඩසටහනක් මේ යටතේ ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

නවීන තාක්ෂණය යොදා ගෙන  ගොඩවගාව, වී වගාව, පළතුරු වගාව ඇතුළු වගා ක්‍රම, නිරෝධායන පනත, පළිබෝධනාශක පනත ඇතුළු නීති අණපනත් මෙන්ම ඩිජිටල් තාක්ෂණය පිළිබඳ විශේෂ දැනුමක් පුහුණු වැඩමුළුවේදී ලබාදීමට පියවර ගෙන තිබේ.

මෙම වැඩමුළුවෙන් ලබාගන්නා දැනුම කෘෂි උපදේශකවරුන්, ගොවිජන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් මඟින් ගොවියාට ගෙන යාම මෙහි ප්‍රමුඛ අරමුණයි.

පුහුණු වැඩමුළුවේදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේද සදහන් කළේය. 

“ සෞභාග්‍යයේ දැක්මේ කෘෂිකර්මයට සුවිශේෂී තැනක් දීලා තියෙනවා. ජනාධිපතිතුමාගේ අරමුණ මෙරට නිෂ්පාදන ආර්ථිකයක් හදලා ආනයන ආර්ථිකය මුළුමනින්ම නතර කිරීම. 40% ක් සෘජුව මෙරට කෘෂිකර්මයේ නිරතවෙනවා. 30%ක් වක්‍රව කෘෂිකර්මයේ නිරතවෙනවා. කොවිඩ් තත්ත්වය එක්ක අද රටේ සෘජුව හා වක්‍රව 75%ක් කෘෂිකර්මයේ නිරතබව වාර්තා වෙනවා. ඒ නිසයි තාක්ෂණයෙන් ගොවියා සන්නද්ධ කිරීම අනිවාර්ය වෙලා තියෙන්නේ.

මෙරටට කෘෂිකර්මයේ තාක්ෂණය හා පර්යේෂණ එංගලන්තයට සමාන මට්ටමේ තියෙනවා. ඒත් ගොවියා තාමත් ඉන්නේ වසර 100ක් පැරණි සාම්ප්‍රදායික කෘෂිකර්මයේ. දැනුම තාක්ෂණය ගමට යන්නේ නෑ. කෘෂිකර්ම උපදේශකට ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ඉඩක් නැහැ. කෘෂිකර්ම උපදේශක, ගොවිජන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් එකට එකතුවෙලා වැඩකරන්නේ නෑ. ගොවියාට දැනුම යන්නේ නෑ. ඒ නිසා අපි මධ්‍යම ආණ්ඩුව, පළාත් සභාව, අනෙකුත් ආයතන සියල්ලඑකට එකතුවෙලා වැඩ කරන්න අවශ්‍ය සම්බන්ධීකරණය කරලා අවසන්. මේ පුහුණුවෙන් කරන්නෙත් ඒක.

මේ රටේ කෘෂිකර්මය ඇතුලේ මාෆියාවන් 05ක් ක්‍රියාත්මක වෙනවා. කිරි ගෙන්වීමේදී නවසීලන්තයේ දෙවැනි ගැනුම්කරුවා ලංකාව. කාබනික පොහොරවලට වඩා රසායනික පොහොර ආනයනයේදී කොමිස් ලැබෙනවා වැඩියි. රටේ බීජවලින් වැඩි ප්‍රමාණයක් ආනයනය කරනවා තාමත්. 100% ක් වියළි මිරිස් ගේන්නේ පිටරටින්. ඒ තුළින් කොමිස් වැඩි නිසා නිෂ්පාදනයට වඩා ආනයනයට ගොඩක් අය කැමතියි.

යූරියා භාවිතය වැඩි වෙලා නොරොච්චෝලේ නිල් දරුවන් උපදිනවා. මාසයකට ඇස් නොපෙනෙන දරුවෝ 30ක් උපදිනවා කියලා වෛද්‍යවරු කියනවා. වකුගඩු , පිළිකා රෝගීන් දිනෙන් දින වැඩිවෙනවා. ඒත් රසායනික පොහොර ගෙන්වනවා.

පසුගිය වසරේ පරීක්ෂණාගාර වාර්තා 55ක් වෙනස්කරලා බිලියන 1.5ක් බාල පොහොර ගෙන්වලා තියෙනවා. ඒක විගණකාධිපති වාර්තාවෙන් හෙලිවෙලා තියෙනවා. ඊට සම්බන්ධ 7ක්ම මම ගෙදර යැව්වා ඒ වාර්තා වෙනස් කරපු. හිටපු පොහොර සභාපතිට නීතිමය ක්‍රියාමාර්ග ගත්තා.

වසවිස කන්න දීලා දැන දැන මිනිස්සු මරනණ රටක් වෙලා මේක. ඒ නිසා මේ වසරේ පොහොර දෙන්නේ පස පරීක්ෂා කරලා අවශ්‍ය පරිදි. ඒ සඳහා පස් පරීක්ෂා කිරීමේ කට්ටල සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකටම ලබාදීමට පියවර අරගෙන තියෙනවා. සෑම ගොවියෙකුටම තමන්ගේ ඉඩමේ පස් පරීක්ෂා කිරීමේ වාර්තාව අපි දෙනවා.

දෙන්න පුළුවන් සියලු දැනුම, පහසුකම්, ප්‍රතිපාදන දෙනවා. ගමට තාක්ෂණය ගෙනියන්න නිලධාරීවාදය, කඹ ඇදිල්ල, ජාතිභේද, තරාතිරම පැත්තකට දාල ගොවියා දැනුමෙන් තාක්ෂණයෙන් සන්නද්ධ කරන්න  එකම පවුලක් ලෙස සියලුදෙනා වැඩ කරන්න”යනුවෙන් අමාත්‍යවරයා පුහුණු වැඩමුළුවට එක්වු කෘෂිකර්ම උපදේක නිලධාරීන් අමතමින්  ප්‍රකාශ කළේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීර‍කෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

උපුටා ගැනීම – කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිල වෙබ්අඩවිය ඇසුරිණි

RSL

Related Posts