කහ – බඩඉරිඟු ඇතුළු අස්වනු මිලදී ගැනීමේ අක්‍රමිකතා නතර කරන්න

ගොවීන්ගේ කහ, බඩඉරිඟු ඇතුළු අස්වනු මිලදී ගැනීමේ දී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට මැදිහත්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට නියම කරයි.

දේශීය ගොවීන් කහ සහ බඩඉරිඟු වගාව ඉතා සාර්ථකව පුළුල් කර ඇත. ඉදිරි මාස් කන්නයේ අස්වනු නෙළීම ආසන්නව පවතී. ගොවීන්ට සාධාරණ මිලක් හිමිවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. වෙළෙඳුන් තොග රැස් කිරීමේ දී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට රජය පූර්ණව මැදිහත්විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

2021 සහ 2022 මාස් කන්න සඳහා ඉහළ ප්‍රමිතියෙන් යුත් බීජ රැස් කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි. කූට ව්‍යාපාරිකයින් නීති විරෝධී ලෙස ආනයනය කරන කහ තොග විනාශ කරන්නැයි ජනපතිවරයා නියෝග කර තිබේ.

අක්‍රමිකතාවන්හි නිරත වන ව්‍යාපාරිකයනට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයාට උපදෙස් දි ඇත.

මධ්‍යසාර හා එතනෝල් නිෂ්පාදනයට බඩඉරිඟු භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස සුරාබදු කොමසාරිස්වරයාට නියෝග කෙරිණ.

කහ, බඩඉරිඟු මෙන්ම කව්පී, උඳු, මුංඇට, තල, කුරහන් ආදී ධාන්‍ය තොග රැස් කරන්නන්ට ණය දීම වෙනුවට පුළුල් වෙළෙඳපොළක් සහතික කිරීමේ අවශ්‍යතාව ජනාධිපති අවධාරණය කරයි.

ව්‍යාපාරිකයන් හඳුනා ගනිමින් ණය මුදල්වලට සරිලන භාණ්ඩ තොග තොරතුරු පවත්වා ගන්නා ලෙස බැංකුවලට උපදෙස් දෙනු ලැබීය. ශ්‍රී ලංකා මහ බැංකුව සිය අධීක්ෂණ කාර්යයන් සංවර්ධන මූල්‍ය සම්පාදනයට යොමු කළ යුතු බවද රාජපක්ෂ මහතා විසින් දැනුම් දී තිබේ.

සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ගොවි ජන සේවා කොමසාරිස්වරුන් සහ ක්ෂේත්‍ර මට්ටමේ සියලු නිලධාරීන් ගොවි අස්වනු සාර්ථකව මිලදී ගෙන ගොවි ජනතාව ශක්තිමත් කළයුතුය. එමෙන්ම සේනා දළඹු උවදුර වැනි කෘමීන්ගෙන් වන හානි වළක්වා ගැනීමට අවධානයෙන් සිටින ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

Loading...

RSL

Related Posts