ඔක්ස්ෆර්ඩ් එන්නත දොරට වඩියි: එන්නත දීම සඳුදා සිට අරඹයි

Spread the love

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනිකා’ එන්නත එරට කෝවිඩ් වෛරසයට එරෙහිව භාවිතය සඳහා අනුමැතිය ලද දෙවැනි එන්නත බවට පත්වෙයි.

කෝවිඩ්-19 වෛරසයට එරෙහිව ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් නිර්මාණය කරන ලද එන්නත එක්සත් රාජධානියෙහි මහජනතාව වෙනුවෙන් ලබාදීමට අනුමැතිය ලැබී ඇත.

‘ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනිකා’ (Oxford-AstraZeneca) යනුවෙන් නම්කරනු ලැබ ඇති එම එන්නත මහජනයාට ලබාදීම ලබන සඳුදා ආරම්භ කිරීමට නියමිතය. මේවනවිට එක්සත් රාජධානියේ කොරෝනාවෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළයමින් පවතින අතරවාරයේ එම එන්නත ලබාදීම ආරම්භ කෙරෙයි.

එක්සත් රාජධානිය ‘ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනිකා’ එන්නත් මාත්‍රා (doses) මිලියන සීයක් ඇණවුම්කර ඇති අතර මාත්‍රා මිලියන පනහක් ජනතාවට සෑහෙයි.

එක්සත් රාජධානියේ දැනටමත් පාවිච්චියට ගනුලබන ‘ෆයිසර්-බයෝන්ටෙක්’ (Pfizer-BioNTech) එන්නතත් සමඟ එකට ගත්විට මෙම එන්නත් දෙක එරට සමස්ථ ජනතාව සඳහා සෑහෙන බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්නොක් (Matt Hancock) පැවසීය.

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනිකා එන්නත පිළිබඳ අළුත්ම පුවත ලැබුනේ එක්සත් රාජධානියේ ජනතාව කොරෝනාවෛරසය පැතිරයාම වළක්වාලීමේ අරමුණින් දැනට පවතින තත්වයටත් වඩා තවත් දැඩි කොන්දේසි යටතේ පවත්වා ගැනීමට අවධානය යොමුවෙමින් පවතින මොහොතකය.

covid-19
කොවිඩ් -19 වෛරසයේ තවත් ප්‍රභේදයක් පැතිරයාමත් සමඟ ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිනපතා වේගයෙන් ඉහළයමින් පවතී.

මෙම සතියේ අඟහරුවාදා (දෙසැම්බර් 29) දිනය තුළ පමණක් එක්සත් රාජධානියෙන් කොරෝනාවෛරස් ආසාදිතයන් 53,135ක් වාර්තාවිය. මහාපරිමාණයෙන් කෝවිඩ් පරීක්ෂණ ආරම්භකරනු ලැබීමෙන් අනතුරුව එක් දිනයක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ වාර්තාව එයයි.

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනිකා එන්නත සොයාගනු ලැබීම අගමැති බොරිස් ජොන්සන් විසින් විග්‍රහකරන ලද්දේ “බ්‍රිතාන්‍ය විද්‍යා ක්‍ෂේත්‍රයේ ලද මහා ජයග්‍රහණයක්” යන වචන උපයෝගීකර ගනිමිනි.

“හැකිතාක් ඉක්මණින් වැඩි ජනතාවක් එන්නත් කිරීමට දැන් අපි පියවර ගන්නවා,” බ්‍රිතාන්‍ය අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ක්‍රිස් විටි (Chris Whitty) මෙසේ පවසා තිබුණි.

“සැලකිය යුතු සාමූහික ප්‍රයත්නයක ප්‍රතිපලයක් තුළින් අප මෙම ස්ථානයට ගෙනැවිත් ඇත.”

ඔක්ස්ෆර්ඩ් එන්නත් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ මහාචාර්ය Andrew පොලාර්ඩ් (Prof Andrew Pollard) බීබීසීයට අදහස් දක්වමින්, එම එන්නත අනුමතකරනු ලැබීම විග්‍රහකරන ලද්දේ ‘විශ්මයජනක ජයග්‍රහණයක්” හැටියටය.

“එහෙත් මෙය අවසානය නොවෙයි.තවත් කළයුතු වැඩ තියෙනව,” මහාචාර්ය පොලාර්ඩ් පවසයි.

“අපේ සගයන් මේ වෛරසය විසින් ඇතිකරන ලද දරුණු භයානක තත්වයත් සමඟ රෝහල්වල අරගලයක නිරතවෙමින් සිටිනවා,” මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර බීබීසී උදෑසන වැඩසටහනකට (BBC Breakfast) සහභාගි වූ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්වරයා මෙසේ සඳහන් කළේය.

“වෛරසය මැඩලීම අතින් මෙය සුවිශේෂී අවස්ථාවක්. 2021 බලාපොරොත්තුවේ සහ යළි යථා තත්වයට පත්වීමේ වසර වෙන්න පුළුවන්. මොකද? වසංගතය තුරන් කිරීම අතින් අපට අපේ සැලසුම් අනුව කටයුතු කරන්න හැකිවෙනවා.”

‘ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනිකා’ එන්නත සැලසුම් කරන ලද්දේ 2020 පළමු මාස කීපය තුළය. එම එන්නත පසුගිය අප්‍රියෙල් මාසයේ දී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ තැනැත්තකු යොදාගනිමින් අත්හදා බැලීමට හැකිවිය. ඉන් අනතුරුව දහස් ගණනක් පුද්ගලයන් සහභාගි කර ගනිමින් මහාපරිමාණයේ චිකිත්සක පරීක්ෂණ ආරම්භ විය.

‘ෆයිසර්-බයෝන්ටෙක්’ (Pfizer-BioNTech) එන්නත එක්සත් රාජධානියේ මහජනයාට ලබාදීම මෙම දෙසැම්බර් මාසයේ ආරම්භ වූ අතර මෙම ‘ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනිකා’ එන්නත එරට කෝවිඩ් වෛරසයට එරෙහිව භාවිතය සඳහා අනුමැතිය ලද දෙවැනි එන්නත බවට පත්වෙයි.

‘ෆයිසර්-බයෝන්ටෙක්’ (Pfizer-BioNTech) එන්නත ගබඩාකර තැබීම සඳහා -70C ක අධිශීතකරණ අවශ්‍යකරන නමුත් මෙම ‘ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනිකා’ එන්නත ප්‍රමිතිගත සාමාන්‍ය ශීතකරණයක පවත්වාගත හැකිවීම විශේෂ වාසියකි. එබැවින් එය වෛද්‍ය සායන සහ වැඩිහිටියන් බලාගනු ලබන සත්කාර ආයතන (care homes) කරා පහසුවෙන් ප්‍රවාහනය කිරීමට අවස්ථාව ලැබෙයි.

‘ඇස්ට්‍රාසෙනිකා ආයතනයේ’ ප්‍රධාන විධායක නිලධාරී පැස්කල් සෝරියට් (Pascal Soriot) බීබීසී ගුවන්විදුලි සේවයේ ‘රේඩියෝ 4’ චැනලය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය.

“ලබා ඇති ප්‍රගතිය ඉතා හොඳින් පෙරට යමින් පවතිනවා.”

මෙම ව්‍යාපෘතිය යටතේ සතියකට එන්නත් මාත්‍රා මිලියන දෙකක් ප්‍රවාහනය කිරීමට හැකිවනු ඇත.

සායනික අත්හදා බැලීම්වලින් පරිබාහිරව කොරෝනාවෛරසය සම්බන්ධයෙන් ලොව පළමු එන්නත ලද මාගරට් කීනන්ගෙන්(Margaret Keenan) පසු මේවනවිට හයලක්ෂයකට අධික ජනතාවට එන්නත් ලබා දී ඇත.

COVID-19
අනූ හැවිරිදි මාගරට් කීනන් ලොව පළමු කොරෝනා එන්නත ලද පළමු තැනැත්තා ලෙස ඉතිහාසයට එක්වූවාය

ජනජීවිතය සාමාන්‍ය අතට

‘ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනිකා’ එන්නතට අනුමැතිය ලැබීම කොරෝනා වසංගතය මැඩලීම අතින් ප්‍රධාන සන්ධිස්ථානයක් වනු ඇතැයි බීබීසීයේ සෞඛ්‍ය තොරතුරු භාර වාර්තාකරු ජේම්ස් ගැලහර් (James Gallaher) පවසයි.

එම එන්නත මහජනයාට ලබාදීමත් සමඟ එක්සත් රාජධානියේ ප්‍රතිශක්තිකරණ ව්‍යාපාරය තවත් ප්‍රසාරණය වන අතර ජනජීවිතය සාමන්‍ය තත්වයට පත්වනු ඇතැයි ද ඔහු සඳහන් කරයි.

අනුමත එන්නතෙහි පළමු මාත්‍රාව හැකි තරම් පිරිසකට ලබාදීම සමඟ වෛරසයෙන් ආරක්ෂාව ලැබෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව දෙගුණ වනු ඇත.

උපරිම ආරක්ෂාවක් ලැබෙන එහි දෙවන එන්නත ලැබෙන්නේ මාස තුනකට පසුවය.

කෙසේවුවද, ඉදිරි මාස කීපය තවදුරටත් අසතුටුදායක තත්වයක පවතිනු ඇත.

අපේක්ෂා නොකළ මට්ටමින් වෛරසය ආසාදනයවීම් පිළිබඳව සෞඛ්‍ය නිලධාරීන් අදහස් පළකර ඇති අතර,රෝගීන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළයාමත් සමඟ එක්සත් රාජධානියේ ඇතැම් රෝහල් දැඩි අරගලයක නිරතවෙමින් ඇති බවත් වාර්තා වෙයි.

එන්නත බලපැවැත්වෙන ආකාරය

ඔක්ස්ෆර්ඩ් කොරෝනා එන්නත අත්හදා බැලීමට අදාළ දත්ත විශ්ලේෂණය කිරීමේ දී 70% පමණ කොවිඩ් -19 වෛරසය ආසදනයවීමෙන් ආරක්ෂා වී ඇති අතර, බරපතල මට්ටමට පත් කිසිවකු රෝහල්ගත කොට ප්‍රතිකාර කිරීමක් අවශ්‍ය නොවූ බව පෙන්නුම් කර ඇත.

මෙම එන්නත සම්පූර්ණ මාත්‍රා දෙකක් දෙන ලද අයගෙන් 62%ක් පමණද,පළමුව අඩ මාත්‍රාවක් සහ දෙවනුව සම්පූර්ණ මාත්‍රාවක් දෙනලද අය 90%ක් ද යහපත් ප්‍රතිපල ප්‍රදර්ශනය කර ඇත.

එක්සත් රාජධානියේ වෛද්‍ය සහ සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන ආයතනය (MHRA) ඔක්ස්ෆර්ඩ් එන්නත සම්පූර්ණ මාත්‍රා දෙකක් දෙනලෙස නිර්දේශ කරයි.

කොරෝනාවෛරසය පැතිරයාමත් සමඟ ලෝකයේ රටවල් කීපයකම නව එන්නතක් සොයාගැනීමේ ප්‍රයත්නයක නිරතවෙමින් සිටින අතර මේවනවිට එන්නත් කීපයක් පිළිබඳව තොරතුරු ලැබී ඇත.

බී.බී.සී ඇසුරිණි

RSL

Related Posts