ආර්ථික සංවර්ධනයේදී අපට වැරදුණේ කොහොමද ? කොතැන ද ?

Spread the love

මේ වන විට පනවා ඇති ආනයන සීමා තුළ ජනතාව යම් තරමකින් අපහසුතාවට පත්කරමින්, බොහෝ දේ කෙටි කාලයකට හිඟ වීමේ ඉඩකඩ පවතින බව සැබෑවකි. එහෙත් ඒ අත්දකින්නාවූ හිඟය තුළම දේශීය නිෂ්පාදකයින්ට අවස්ථාවක්, පෙළඹවීමක් ඇති වේ.

ආචාර්ය අජිත් දිසානායක – ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය – කැළණිය විශ්වවිද්‍යාලය

ඕනෑම රටක් සිය සාර්ව ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවිය යුත්තේ ආර්ථික සමතුලිත භාවය, ආර්ථික ස්ථායිතාවය, ආර්ථික වර්ධනය හා සංවර්ධනය, සමානාත්මතාවය, පූර්ණ සේවා නියුක්තිය වැනි මූලික අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා ය.

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, අභ්‍යන්තර ප්‍රතිපත්ති සහ බාහිර ප්‍රතිපත්ති වශයෙන් දෙකොටසකි. අභ්‍යන්තර ප්‍රතිපත්ති පිළිබඳ අවධානය යොමු කිරීමේදී පෙනී යන කරුණක් වන්නේ මෙරට තුළ වසරින් වසර පුළුල් වෙමින් එන අයවැය පරතරයක් ඇති බව ය. මෙරට ආදායම රටේ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවේ. එවිට අයවැය හිඟය පියවා ගැනීමට සිදු වන්නේ වෙනත් මූලාශ්‍රවලිනි. එම මූලාශ්‍ර ඇතැම්විට ආර්ථිකයට දරාගත හැකි යහපත් මූලාශ්‍ර වන්නට සේ ම තවත් විටක ආර්ථිකයට දරාගත නොහැකි අයහපත් මූලාශ්‍ර වන්නට ද ඉඩ ඇත. එය වූකලී අභ්‍යන්තර තුලනයට අදාළ කරුණකි.

අනෙක් අතින් රටක් ලෙස අප බාහිර වශයෙන් විදේශීය වෙළඳපොළ සමඟ ගනුදෙනු සිදු කරන විට අපේ අපනයන සහ ආනයන අතර ගෙවුම් ශේෂ හිඟයක් ඇති වේ. එනම් අපනයන ආදායම, ආනයන වියදම පියවා ගැනීමට ප්‍රමාණවත් නොවේ. එය වූකලී බාහිර තුලනයට අදාළ කරුණකි.       

රටේ ජනගහනය සීඝ්‍රයෙන් වර්ධනය වේ. ඒත් සමඟ කනබොන කටවල් ප්‍රමාණය ද වැඩි වේ. මේ අතර ඊට වඩා වැඩි වේගයකින් ආනයන ප්‍රමාණය වැඩි විය. එපමණක් නොව විදෙස් වෙළඳපොළවලින් ආනයනය කරන භාණ්ඩවල මිල ගණන්ද දිගින් දිගටම වැඩි වෙමින් පවතී. එවිට අපට සිදු වනුයේ සීමිත ආනයන ප්‍රමාණයක් වෙනුවෙන් අසීමිත මුදල් සම්භාරයක් කැප කිරීමට ය.   

මින් පෙර තේ කිලෝ ගෑම් 1000ක් දී මොටර් රථයක් ගෙන්නුවා නම් මේ වන විට මෝටර් රථයක් ගෙන්වීමට තේ කිලෝග්‍රෑම් 1200ක් එතෙරට පිදිය යුතු ය. මෙහිදී රටේ සම්පත් සූරාකෑමකට ලක්වේ. එබැවින් සංවර්ධනය හඹාගෙන අප හැම විටම යා යුත්තේ දරාගත හැකි ගමනකි. 

නිෂ්පාදකයා වෙනුවට ව්‍යාපාරිකයා ඉස්මතු වීම

ඉකුත් වසර ගණනාවක් මුළුල්ලේ ම දේශීය වශයෙන් අපට නිපදවිය හැකි වූ බොහෝ දේ අප විදේශීය වශයෙන් ආනයනය කළ බව කවුරුත් දන්නා සත්‍යයකි. සරුංගලය, වෙසක් කූඩුව, හඳුන්කූර, ගිනිපෙට්ටිය. ඇල්පෙනිත්ත පවා ගෙනාවේ පිටරටිනි. මේ අපට දේශීය වශයෙන් ඉතා පහසුවෙන් නිපදවිය හැකි දේ නොවේද? 

කෘෂිකාර්මික රටක් වන ශ්‍රී ලංකාව පසුගිය කාලය පුරා මුංඇට, කඩල, කහ, ඉඟුරු, රටකජු පිටරටින් ගෙන්වීය. එයට හේතුව දේශීය නිෂ්පාදකයා කපාදමාගෙන ව්‍යාපාරික ප්‍රජාවක් නැඟීටීම ය. ඔවුන් සිදු කරන්නේ විදේශීය වශයෙන් නිපද වූ දෑ මෙරටට ගෙනැවිත් විකුණා මහා පරිමාණයේ ලාබ ලැබීම ය.

මේ වන විට ව්‍යාපාරිකයා අතට පත්ව ඇති අපේ ආර්ථිකය නැවත වතාවක් දේශීය නිෂ්පාදකයා අතට පත් කළ යුතු ය. දේශීය වශයෙන් ශක්තිමක් ආර්ථිකයක් ගොඩනැනේනේ මේ කියන්නාවූ ව්‍යාපාරිකයන් පිටරටින් ගෙන්වන භාණ්ඩ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට ඉඩ ලබාදීම තුළිනි. මෙහිදී අත්‍යවශ්‍ය භාණ්ඩ, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ, දේශීය වශයෙන් නිපදවිය හැකි භාණ්ඩ, දේශීය වශයෙන් විකල්පවලට එළැඹිය හැකි භාණ්ඩ සහ අනිවාර්යෙන්ම ආනයනය කිරීමට සිදු වන භාණ්ඩ මොනවාද? යන කාරණා පිළිබඳව මූලික වශයෙන් තීරණය කළ යුතු ය. මේ වර්ගීකරණය නිවැරදිව සිදු කිරීම රටේ ඉදිරි ගමන සඳහා බෙහෙවින් ම වැදගත් වේ.    

දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ ආනයනය කිරීම නවතා දැමීමේ කිසිඳු වරදක් නැත. නිදසුනක් ලෙස කහ, ඉඟුරු, රටකජු වැනි මෙරට තුළ වගා කළ හැකි බෝග ආනයනය කළ යුතු නොවේ. ඇඟළුම් මෙරට විදෙස්  විනිමය ඉපයීම්වල ඉහළම අගයක් ගන්නා නිෂ්පාදනයකි. ලෝකයේ පොහොසත් ම රටවල ව්‍යාපාරිකයන් මෙරටට පැමිණ ආයෝජනය කිරීමෙන් නිෂ්පාදනය කරන ඇඟළුම් මේ වන විටත් ඇමරිකාව, එංගලන්තය ඇතුළු ලොව ධනවත් බලවත් රාජ්‍යයන් පරිභෝජනය කිරීම රටට ආඩම්බරයකි. එනම් ලොව ඕනෑම රටකට පිළිගත හැකි උසස් ප්‍රමිතියෙන් යුතු ඇඟළුම් නිපදවන පුහුණු ශ්‍රම බලකායක් අපට හිමි ය. එ

හෙත් කණගාටුවට කරුණ නම් අප ඇඟලන්නේ රටින් ගෙනා ඇඳුම් වීම ය. මහන යන්ත්‍ර, රෙදි, නූල්, බොත්තම් අපට නැතිනම් කළ යුත්තේ ඒවා පිටරටින් ගෙන්වා ඇඳුම් මෙරට තුළ නිපදවා ගැනීම ය. එහෙත් අමුද්‍රව්‍ය ගෙන්වා ඇඳුම් නිපදවා ගැනීම වෙනුවට අප සිදු කරන්නේ නිමි ඇඳුම් ගෙන්වීම ය. නිමි ඇඳුම් ආනයනය නැවැත්විය යුතු ය. එවිට ඇඳුම් වෙනුවෙන් මෙරටින් පිටරටට ගලන මුදල් රටට ඉතිරි වනු ඇත.

දියුණු රටවල වෙළෙදපොළක් නොවීම

මෝටර් රථ ගෙන්විය යුත්තේ වසර තුන හතරකින් මාරු කිරීමට නොවේ. සාමාන්‍යයෙන් ආනයන කෙරෙන්නේ දිගු කලක් පරිභෝජනය කළ හැකි මෝටර් රථ ය. එහෙත් ඒවායේ ආයු කාලය අවසන් වීමට මත්තෙන් නැවත නැවත මෝටර් රථ ගෙන්වන විට සිදු වන්නේ කුමක්ද? ආනයනය කරන මොටර් රථ උපරිම ආයු කාලයක් පාවිච්චියට ගත යුතු ය. නිසි ප්‍රතිපත්තියක් නැතිව මෙරට මහා මාර්ග පිරිතීරී යන තරමට මෝටර් රථ ආනයනය කළහොත් ඊට සාපෙක්ෂව මැදපෙරදිගින් බොරතෙල් ගෙන්වන ප්‍රමාණය වැඩි කිරීමට සිදු වනු ඇත. මෝටර් රථ වෙනුවෙන් වැඩි වැඩියෙන් අමතර කොටස් ගෙන්වීමට ද සිදු වේ. මේ සියල්ල වෙනුවෙන් අප නැවත නැවතත් එතෙරට මුදල් පිදිය යුතු ය.   

මේ තත්ත්වය පැහැදිලිව හඳුනාගත යුතු ය. ලෝකයේ දියුණු යැයි සම්මත බටහිර කාර්මික රටවල් නැතහොත් කේන්ද්‍රීය රටවල් හැමවිට ම අප වැනි දියුණු වෙමින් පවත්නා රටවල් (පරිදියේ රටවල්) ඔවුන්ගේ වෙළඳපොළවල් ලෙස පාවිච්චි කරයි. දියුණු රටවල් ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කරන්නේ අපට ය. එම නිෂ්පාදන පරිභෝජනය කරන්නේ අප ය.   

යටත් විජිත සමයේදී මෙන් ම ඉන් අනතුරුවත් ඔවුන් සිදු කළේ අපේ රටවල් ඔවුන්ගේ අවශ්‍යතා අනුව පාලනය කිරීම ය. මෙරට දියුණුවට බාධා කළ ප්‍රබල සාධකයක් වූයේ 30 වසරක් පුරා පැවැති යුද්ධය යි. එක රටක් දෙපිළකට බෙදී 30 වසරක් යුද වැදීමේ වාසිය සැබවින් ම අත්පත් කරගත්තේ කවුරුන්ද? යුද්ධයට ආයුධ කොහෙන්ද? යුද උපකරණ හැදුවේ කවුරුන්ද? යුද පුහුණුව ලබාදුන්නේ කවුරුන්ද? 80 දශකයේදී ඊශ්‍රායලයේ මෝසාඩ් සංවිධානයෙන් කණ්ඩායම් දෙකටම පුහුණුව ලබාදුන් අතර දියුණු කාර්මික රටවල් අපට එකිනෙකා මරාගැනීමට ආයුධ අලෙවි කළ වග අමතක නොකළ යුතු ය. පරිදියේ රටවල වාර්ගික යුද්ධ, සිවිල් කෝලහාල ඇතිවන විට කේන්ද්‍රීය රටවල් එහි වාසිය අත් කරගනී. එක් කණ්ඩායමක් යුද වැදීමට අවිආයුධ විකුණට විට ඔවුන්ගේ ම අනෙක් කණ්ඩායම සාමය බෙදන්නට විය. සැබැවින් ම ඔවුන් සාමය බෙදනවා නම් ඔවුන් නිපදවන ආයුධ අපට බෙදා දුන්නේ කුමක් සඳහාද? 

පාරිභෝජනයට ගිජු සමාජයක් බිහිවීම

අප මෙතෙක් කල් ඉටුකොට ඇත්තේ කාගේ අවශ්‍යතාවද? බටහිර රටවල් විසින් ඔවුන්ගේ නිෂ්පාදන භාණ්වලට අපව ගොදුරු කරගනිමින් පරිබෝජනයට ගිජු සමාජයක් බිහිකොට ඇත. 2004 මහබැංකු මූල්‍ය ආර්ථික සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍යම භාණ්ඩය බවට පාන්පිටි තෝරාගෙන තිබුණි. එහෙත් මෙරට ප්‍රධාන ආහාරය බත් ය.  ප්‍රධාන ආහාරය බත් වූ රටේ අත්‍යවශ්‍ය ආහාරය පාන්පිටි වී තිබීම කෙතරම් හාස්‍යජනකද?

පිටරැටියන් තිරිඟුවල පෝෂදායි කොටස ඉවත් කරගෙන සුදු පාන්පිටි ටික අපේ රටවලට පටවන බව දැන දැනම එවැනි දේට ගිජුව ලෙඩ රෝගවලට ගොදුරු වීම අනුවණකමකි. ලෙඩ කරවන ආහාරපානවලට අප හුරු කරවා, අපේ රටවල මුදල් සූරගන්නා බටහිර රටවල් ඒ ආහාරපාන හේතුවෙන් ලෙඩවන අපට ඖෂධ විකුණා තව තවත්  මුදල් උපයන වග ද අප අමතක කළ යුතු නැත. බටහිර වෛද්‍ය ක්‍රමය තුළ දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි බෝ නොවන රෝග පාලනය කරන බව මිස නිට්ටාවට සුව කරන බවක් අසා තිබේද? ප්‍රතිකාර අරඹා කලක් ගත වූ පසු රෝගියාව මිල වැඩි පෙත්තකට මාරු කරයි. බටහිරින් අපට අත්කොට දී ඇති සෝචනීය තත්ත්වය මෙය නොවේද?   අපේ දේ අපට අගයක් නැති වුවද දේශීය වෛද්‍ය ක්‍රමවල ලෙඩරෝග සුව කරනවා විනා වවාගෙන කන්නේ නැත.

2014දී මෙරට තුළ වී අතිරික්තයක් පැවතිණි. පාන්පිටි පරිභෝජනය 30%ක් අඩු විය. මෙරට ජනතාව ධාන්‍ය සහ සහල් පරිබෝජනයට පෙළඹුණි. එහෙත් 2018 වන විට අප මෙරට සහල් අවශ්‍යතාවයෙන් 42%ක් පිටරටින් ගෙන්වන තැනට පත්විය. සහල් අතිරික්තයක් පැවැති රටක වසර 04ක් තුළ සහල් අවශ්‍යතාවයෙන් 42%ක් පිටරටින් ගෙන්වීම කෙතරම් සෝචනීය තත්ත්වයක්ද? 

ආනයනය කළේ අත්‍යවශ්‍ය භාණ්ඩද ?

මෙතෙක් කල් අප ආනයනය කොට ඇති භාණ්ඩ බොහොමයක් අත්‍යවශ්‍ය දේ නොවේ. එහෙයින් ආනයන සීමා පැනවීම සතුටුදායක ය. එහෙත් කර්මාන්ත පෙර සම්බන්ධතා හා පසු සම්බන්ධතා පිළිබඳව අනවබෝධයෙන් ආනයනය සීමා පැනවීම සිදු කළහොත් එය රටට යහපත් නොවනු ඇත. එබැවින් පාලනය කළ යුතු, තහනම් කළ යුතු සහ ගෙන්විය යුතු භාණ්ඩ සම්බන්ධයෙන් නිවැරදි තීන්දුව ගත යුතු ය.

දේශීය වශයෙන් අපට පළමු පියවරේදී නිෂ්පාදනය කළ නොහැකි අත්‍යවශ්‍ය භාණ්ඩ ද ඇත. යම් රෝගයකට අවශ්‍ය ඖෂධ වර්ගය මෙරට තුළ නොමැති නමුත් එකී රෝගය රට තුළ ව්‍යාප්ත වී ඇත්නම් එම ඖෂධය අනිවාර්යෙන්ම ගෙන්විය යුතු ය. එහෙත් ඒ වෙනුවට දේශීය වශයෙන් ද ඖෂධයක් සොයාගෙන ඇත්නම් එම ඖෂධය ද දියුණුකොට විකල්පයක් ලෙස පවත්වාගත යුතු ය. එවිට කල්ගත වන විට ක්‍රමිකව අපට ආනයනය කරන ඖෂධය පාලනය කිරීමට අවස්ථාවක් උදා වේ. මේ වන විට අප ගෙන්වන බොහොමයක් ඖෂධ ඉන්දියාවේ ගෘහ කර්මාන්ත ලෙස නිපදවන ඒවා ය.

ක්ෂණික ආහාර, පැණිබීම වර්ග ආනයනය තහනම් කළ යුතු ය. කිරිපිටි ආනයනය කිරීම වෙනුවට දේශිය වශයෙන් දියර කිරි කර්මාන්තය දියුණු කළ යුතු ය. අද අප භාවිත කරන කැත්ත, උදැල්ල පවා ආනයනය කළ ඒවා ය. අපේ කර්මාන්ත බොහොමයක් මේ වන විට විනාශ මුඛයට ඇදවැටී තිබීම කණගාටුවට කරුණකි. අප උසස් ප්‍රමිතියෙන් යුතු රබර් අපනයනය කොට ඒ රබල්වලින් නිපදවන අත්වැසුම් ආනයනය කරන්නේ කුමක් නිසාද? අත්වැසුම් අපට ම නිපදවාගත නොහැක්කේ මන්ද?

ආනයන සීමා හමුවේ මැසිවිලි එපා

ආනයන සීමා කිරීමත් සමඟ ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන් වෙළඳපොළේ ඇති හිඟය පිළිබඳ මැසිවිලි නැඟීම නොවේ සිදු කළ යුත්තේ එම භාණ්ඩ දේශීය ව නිපදවීමට උත්සුක වීම ය. එසේ නොහැකි නම් විකල්ප නිෂ්පාදන කරා එළැඹීම සුදුසු ය. ආනයනයට පෙළඹිය යුත්තේ ඒ කිසිවක් කළ නොහැකි තැනකදී ය. නිදසුනක් ලෙස සලකා බැලුවහොත් මේ වන විට තණකොළ කපන යන්ත්‍ර පිටරටින් ගෙන්වීම නවතා දමා ඇත. එවැනි යන්ත්‍ර මෙරට ප්‍රජාවට නිපදවිය නොහැකිද? සැබවින්ම වෙළඳපොළ තුළ හිඟ වී ඇති බොහෝ දේ දේශීය වශයෙන් නිපදවිය හැකි භාණ්ඩ ය.

අපට දේශීය වශයෙන් නිපදවාගත නොහැකි සේම විකල්පයක් ද සොයාගත නොහැකි දේ පමණක් මේ අවස්ථාවේ ආනයනය කිරීම සුදුසු ය. නිදසුනක් ලෙස ගතහොත් ඛනිජ තෙල් ආනයනය කිරීම සාධාරණ ය. වාහන එන්ජින් ගෙන්වීමේ වරදක් නැත. එහෙත් ටයර් ගෙන්විය යුතු නැත. මන්ද ටයර් අපට දේශීය වශයෙන් නිපදවිය හැකි ය. අපට නිපදවිය හැකි දේ ආනයනය කිරීම නැවැත්විය යුතු ය. මේ පිළිවෙත අනුගමනය කිරීමට නම් රට ගැන හැඟීමකින් කටයුතු කළ යුතු ය. රටට ගැලපෙන ආකෘතිය නිවැරදිව තෝරාගත යුතු ය. එසේ ම යම් යම් තත්ත්වයන් දරාගත යුතු ය.  

මේ වන විට පනවා ඇති ආනයන සීමා තුළ ජනතාව යම් තරමකින් අපහසුතාවට පත්කරමින්, බොහෝ දේ කෙටි කාලයකට හිඟ වීමේ ඉඩකඩ පවතින බව සැබෑවකි. එහෙත් ඒ අත්දකින්නාවූ හිඟය තුළම දේශීය නිෂ්පාදකයින්ට අවස්ථාවක්, පෙළඹවීමක් ඇති වේ.

පිටරටින් අර්තාපල් ගෙන්වීම නවතා දැමුවහොත් මෙරට අල ගොවියා දේශීය අවශ්‍යතාව වෙනුවෙන් අල වගා කරන්නේ නැතිද? රටින් පරිප්පු ගෙන්වීම නවතා දැමුවහොත් මෙරට ජනතාව මුං, කවුපි වැඩි වැඩියෙන් වගාකොට පරිප්පු වෙනුවට පරිබෝජනය නොකරාවිද? පාන් පිටි ගෙන්වීම නවතා දැමුවහොත් අල, බතල, ධාන්‍ය ආහාරයට නොගනීවිද? කහ ආනයනය නවතා දැමූ පසු තම පරිභෝජන අවශ්‍යතාව වෙනුවෙන් කහ වගා කිරීමට බොහෝ දෙනා පෙළඹුණි.

පළමු කොවිඩ් රැල්ලේදී වගා කළ කහවලින් දැන් දැන් අස්වැන්න  ලැබෙමින් පවතී. එබැවින් මැසිවිලි නැඟීමට වඩා වටින්නේ රටක් ලෙස ස්වයං පෝෂිතව නැඟීසිටීමේ අරමුණ වෙනුවෙන් එකිනෙකාට සහයෝගය ලබාදීම ය. දේශීය අමුද්‍රව්‍යවලින් උසස් නිෂ්පාදන බිහි කිරීම සඳහා පර්යේෂකයන් මැදිහත් විය යුතු ය. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හරහා විනාශ මුඛයට ඇදවැටුණු අපේ ශක්තිමත් ආර්ථිකය, නැවත ගොඩනැඟීම වෙනුවෙන් නිවැරදි තීරණ ගැනීමටත් එම තීරණ බලගැන්වීමටත් බලධාරින්ට ඇත්තේ කර ඇරිය නොහැකි වගකීමකි.   

සටහන – උමන්දා විජේමාන්න

RSL

Related Posts